Counterfeit-supply-of-immunoglobin-drug-is-attempt-to-murder

ඉමිනොග්ලොබින් ඖෂධය ව්‍යාජ ලෙස සැපයීම 'මිනී මැරීමට' තැත් කිරීමක් ලෙස ගතහැකි බවත් අදාළ සැපයුම්කරුට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට බලධාරීන් කටයුතු කළ යුතුව ඇති බව ඖෂධය ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කරයි.

රෝහල් කිහිපයකදී රෝගීන්ට අසාත්මිකතා ඇති වූ 'ඉමිනොග්ලොබින්’ ඖෂධය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අත්සන් සහ නිල මුද්‍රා කූට ලෙස භාවිත කර අදාළ සැපයුම්කරු විසින් මෙරටට සැපයීමේ වගකීම ඖෂධ සැපයුම් අංශය සහ ඖෂධ ප්‍රසම්පාදන අංශ භාරගත යුතු බවද එම අධිකාරිය විසින් ඊයේ (10දා) එම අධිකාරියේ දී පවත්වන ලද මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.



එම මාධ්‍ය හමුවට එක් වූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී, වෛද්‍ය විජිත් ගුණසේකර මහතා ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන් පෙන්වා දුන්නේ, ඖෂධ ප්‍රසම්පාදන කටයුතු හෝ මිලට ගැනීමේ කටයුතු සඳහා තම අධිකාරිය කිසිසේත් සම්බන්ධ නොවන බවත්, ප්‍රමිතිය පරීක්‍ෂා කිරීම හා හදිසි මිලට ගැනීමකදී ඒ සඳහා ලියාපදිංචිය නිදහස් කිරීමට බැඳීසිටීම පමණක් සිදුකරන බවත්ය.

ඒ අනුව අමාත්‍ය මණ්ඩල තීරණ මත ඖෂධ හදිසි මිලට ගැනීමකදී ලියාපදිංචිය නිදහස් කිරීමට අධිකාරිය බැඳීසිටින බව සඳහන් කළ අධ්‍යක්‍ෂ මණ්ඩලය, ඖෂධ සැපයීම සහ ටෙන්ඩර් ප්‍රදානය ඇතුළු ක්‍රියාවලිය ඖෂධ සැපයුම් අංශය සහ ඖෂධ ප්‍රසම්පාදන අංශ විසින් සිදුකරන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

ඒ අනුව ඖෂධයේ ලියාපදිංචිය නිදහස් කළ බවට ව්‍යාජ ලෙස තම නිල මුද්‍රා සහ අත්සන් භාවිත කරමින් අදාළ සැපයුම්කරු ඖෂධ ගෙන්වූයේ, කෙසේද යන්න ගැටලුවක් වන බවත්,

එසේම අදාළ සිද්ධියේ වගකීම ජාතික ඖෂධ නියාමන අධිකාරියට පවරන ඇතැම් වෛද්‍ය සංගම් විසින් සිදුකරනුයේ, සොරුන් ආරක්‍ෂා කිරීමක් දැයි සැකයක් මතුවන බවත් අධ්‍යක්‍ෂ මණ්ඩලය වැඩිදුරටත් චෝදනා කර සිටියේය.

මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් එහි අධ්‍යක්‍ෂ, නීතිඥ මනෝජ් ගමගේ මහතා සඳහන් කර සිටියේ, ඉමිනොග්ලොබින් ඖෂධය ව්‍යාජ ලෙස සැපයීම 'මිනී මැරීමට' තැත් කිරීමක් ලෙස ගත හැකි බවත් අදාළ සැපයුම්කරුට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට බලධාරීන් කටයුතු කළ යුතුව ඇති බවත්ය.

අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ, ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලියට ජාතික ඖෂධ නියාමන අධිකාරියද සම්බන්ධ විය යුතු බවට අනිවාර්ය කරමින් අදාළ පනත සංශෝධනය විය යුතුව ඇති බවයි.

රෝහල් කිහිපයකදී රෝගීන්ට අසාත්මිකතා ඇති වූ ඉමිනොග්ලොබින් ඖෂධය ආනයනය සඳහා සැපයුම්කරුට අනුමැතිය ලබාදී ඇතැයි යන සහතිකය ව්‍යාජ එකක් වන බවට පසුගියදා තහවුරු වූ අතර, ඒ අනුව ඒ පිළිබඳ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇත.

එසේම මෙම ඖෂධය මෙරට තුළ භාවිතය අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇති අතර, ඖෂධය ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ මෙරටට ආනයනය කර තිබිණි.

-නිදර්ශනි වික්‍රමසිංහ