bolgoda-hotel-nabbed

මගුල් පෝරුව යට රහසිගත ලෙස ගලි වළ සකස්කර බොල්ගොඩ ගඟට අපද්‍රව්‍ය සහ අපජලය මුදා හැරී බණ්ඩාරගම බොල්ගොඩ තුන් බෝධිය අසල හෝටලයේ පරිසර ආරක්ෂණ බලපත්‍රය අවලංගු කළ බව මධ්‍යම පරිසර අධිකාරියේ (මාධ්‍ය ප්‍රකාශක) නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (අපද්‍රව්‍ය කළමනාකාර) අජිත් වීරසුන්දර මහතා පැවසීය.



එම හෝටලයෙන් පරිසර බලපත්‍ර කොන්දේසි කඩ කර ඇති බව ඉකුත් මස (22දා) එම හෝටලයට පැමිණී මධ්‍යම පරිසර අධිකාරියේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ විමර්ශනයේදී කරුණු අනාවරණය වීමෙන් අනතුරුව එකී තීන්දුව ගත් බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

එහිදී හෝටල් බලධාරීන් විසින් මගුල් පෝරුව ස්ථාපිත කර තිබෙන ස්ථානය යට භූගතව ගලි වළ සකසා බට යොදා අපද්‍රව්‍ය, අපජලය බොගොඩ ගඟට බැහැර කර ඇති බවට අනාවරණය විය.

මෙම හෝටලයෙන් විශාල පරිසර හානියක් සිදු කරන බවට ගම්වාසීන්ගෙන් දිගින් දිගටම ලද පැමිණිලි අනුව ඉකුත් (13දා) මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් හෝටලයට පැමිණි අවස්ථාවේදී මේ බව අනාවරණය වී තිබිණි.

මේ අතර බොල්ගොඩ ගඟ රක්ෂිතය අනවසරෙන් ගොඩ කර ඊට යටින් බට යොදා අපද්‍රව්‍ය බොගොඩ ගගට බැහැර කර ඇති බවට පෙන්වා දීමට ගිය ගම්වැසියෙක් හදිසියේ අසනීප වී මියයාමේ සිද්ධියත් සමගම මෙම හෝටලය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක කතාබහක් සමාජය පුරා ඇති විය.



ඒ සමගම බණ්ඩාරගම පොලීසිය මගින් මහජන පීඩාව යටතේ ලබාගත් අධිකරණ නියෝග මත මධ්‍යම පරිසර අධිකාරිය මූලිකත්වයෙන් සිදු කළ එම පරීක්ෂාවේදී ගම්වැසියන්ගෙන් ලද රහසිගත තොරතුරකට අනුව එම ගලි වළ සහ අපද්‍රව්‍ය ගගට මුසු කරන බට ස්ථාපිත කර තිබූ ස්ථානය සම්බන්ධයෙන් හෙළිකර ගැනීමට හැකි විය.

අදාළ හෝටලයේ පරිසර ආරක්ෂණ බලපත්‍රය අවලංගු වීම මත තවදුරටත් හෝටලයට ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාමට නෛතික හැකියාවක් නොමැති බවත් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 98වැනි වගන්තිය යටතේ ගැනෙන මහප්ත පීඩාව නඩුකරයේ විමසීමට අදාළ කටයුතු සහ ලිඛිත දේශන අවසන්ව ඇති බැවින් ඒ සම්බන්ධයෙන් වූ නියෝගය හෙට (05දා) පානදුර අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා විසින් ලබා දීමට නියමිත බව බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අරුණ දීපාල් මහතා පැවසීය.

-බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ