bomb-colombo-information

කොළඹ මර්මස්ථානවලට බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල වන බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කර වහාම වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේකර මහතා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට ඊයේ (04දා) නියෝග කළේය.



බන්ධනාගාර රැඳවියෙකු බන්ධනාගාර බස් රථයෙන් එළියට වීසි කළ තුණ්ඩු කැබැල්ලක ලියා තිබූ තොරතුරකින් මේ බව හෙළිවූ බව කියමින් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.

කොළඹ මර්මස්ථානවලට බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල වන බවට බන්ධනාගාර රැඳවියාට තොරතුරු ලැබුණු ආකාරය මෙන්ම ඊට ඔහුගේ ඇති සම්බන්ධතාව පිළිබඳවද විමර්ශන කරන බව ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා, මේ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කිරීමටද ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට නියම කළේය.

-බුද්ධිමාල් රුබේරු