buddhika-pathirana-law-college-exam

විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මේ දිනවල පැවැත්වෙන නීති විද්‍යාල දෙවන වසර විභාගයට සටහන් තොගයක් සමග වාඩිවී පිළිතුරු ලබාදී ඇති බවටත්  විභාග පරීක්ෂිකාවකට හසුවී ඒ ගැන ශාලාධිපතිවරයාට පැමිණිලි කර ඇති බවටත් ආරංචියක් ලැබී තිබේ.


උත්තර සහිත කොළ කිහිපයක් ඔහු සන්තකයේ තිබී සොයා ගෙන ඇතැයිද විභාග දෙපාර්තමේන්තුවෙන් පවත්වන මෙම විභාගයට තිබෙන කොන්දේසි ප්‍රකාරව මෙම අයදුම්කරු ගැටලුවකට මුහුණපානු ඇතැයිද වාර්තා පළව තිබේ.

මේ ගැන අද දින ජාතික පුවත්පත්වල නම සඳහන් නොකර වාර්තා පළව ඇති අතර මේ ගැන නීති විද්‍යාලයේ විදුහල්පති කිසිදු අදහසක් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇති බවත් අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතාට මේ ගැන තොරතුරු ලැබී ඇති බව තහවුරු කර ඇති බවටත් එක් පුවත්පතක් වාර්තා කර තිබේ.

 සිද්ධිය වසන් කිරීමට විපක්ෂයේ ඉහළ මට්ටමින් මැදිහත්ව තිබෙන බවද එම වාර්තාවේ දැක්වේ.



පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා වෛද්‍ය විද්‍යාව පාඨමාලාව හැදෑරීම සඳහා උසස් පෙළ සමත්ව රාගම වෛද්‍ය විද්‍යාලයට තේරී තිබූ අයකු වූ අතර ඔහු එම පාඨමාලාව අතරමග හැරදමා දේශපාලනයට පිවිසි අයෙකි.

නීති විද්‍යාල විභාග සම්බන්ධයෙන් ලංකාවේ විවිධ කතා පවතින අතර මින් ඉහත තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන නාමල් රාජපක්ෂ වායුසමීකරණය කළ කාමරයක සිට පොත්පත් බලමින් එම විභාගයට පිළිතුරු ලියූ කතාවක්ද පවතී. එම වසරේ එකී විභාගයෙන් ඉහළින්ම සමත්ව ‘බැච් ටොප්‘ වූයේද ඔහු බව ප්‍රකටය.