bus-25-polonnaruwa-nabbed

පොලොන්නරුව පුලස්තිපුර පැවති සුහද හමුවක් අවසානයේ අනතුරුදායක ලෙස මාර්ගයේ සිග් සැග් ක්‍රමයට ගමන්ගත් බස් රථ 25 ක රියදුරන්ගේ බලපත්‍ර ඊයේ (2) රථවාහන පොලිස් මූලස්ථානය මගින් බාරයට ගත් බවත් ඔවුන්ට ඉදිරියේ නඩු පවරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පැවැසීය.මෙම බස් රථවල මෝටර් රථ පනත උල්ලංඝණය කරමින් අභ්‍යන්තරය සහ පිටත වෙනස්කම් රැසක් සිදු කර ඇති බවත් ඒවා නිසි පරිදි වෙනස් කර යළි ඉදිරිපත් කරන තෙක් මෝටර් රථ ප්‍රවාහන පරීක්ෂක නිලධාරින් විසින් ඔවුන්ගේ බස් ධාවනය තහනම් කරමින් බලපත්‍ර ද සිය භාරයට ගත් බව නිහාල් තල්දුව මහතා පැවැසීය.



ඉකුත් සැප්තැම්බර් මස 16 දින බස්රථ හිමිකරුවන්, රියදුරන් සහ සේවකයන් ඇතුළු පිරිසගේ සුහද හමුව පවත්වා ඇති අතර ඒ සඳහා පැමිණි පිරිස සුහද හමුව අවසානයේ දී මේ ආකාරයෙන් මාර්ගයේ අන්තරාදායක වන අයුරින් බස් රථ ධාවනය කර ඇති බව හෙතෙම කීය. මෙම සිදුවීම මාර්ගයේ ගමන් ගත් පිරිස් විසින් වීඩියෝ ගත කළ අතර අන්තර්ජාලයට මුදා හැරීමෙන් අනතුරුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.මෙම සිදුවීමට බස්රථ 54 ක් සම්බන්ධවී ඇති බවට අනාවරණය වූ බවත් ඒ අනුව ඔවුන් සියලු දෙනාට බස්රථ ද සමග කොළඹ රථවාහන පොලිස් මූලස්ථානයට පැමිණෙන ලෙසට දැනුම් දීමක් කර තිබූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.



එම දැනුම්දීම අනුව පැමිණ ඇත්තේ බස් රථ 25 ක් පමණක් බවද එම බස් රථ සඳහා ක්‍රියාමාර්ග ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.මෙම බස් රථ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන පරීක්ෂකවරුන් සිව්දෙනකු විසින් පරීක්ෂාවට ලක්කර, නිසි අවසරයකින් තොරව නීති විරෝධීව කොටස් සවි කිරීම හා වෙනස් කිරීම සම්බන්ධයෙන් එහි බලපත්‍ර සිය භාරයට ගෙන ඇත.ඊයේ දිනයේ කොළඹට නොපැමිණි ඉදිරි බස්රථ 29 ය සඳහා ද කොළඹ රථ වාහන මූලස්ථානයට පැමිණෙන ලෙසට වෙනත් දිනයක් ලබා දුන් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.

ඉන්දිකා රාමනායක