bus-fare-hike-gamunu-anjana

ඩීසල් මිල ඉහළ දැමීම හේතුවෙන් පෞද්ගලික බස්ගාස්තු ද ඉහළ දැමීය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් පැවසුවේය. අවම වශයෙන් 5%ක ප්‍රතිශතයකින් බස්ගාස්තු ඉහළ දැමීමට රජය අවසර ලබා දිය යුතු බව ඔහු කීය.





ඊයේ (01) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 10කින් ද සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 62කින් ද ඉහළ දැමීමට පියවර ගැනීම මෙයට හේතුවයි.

කෙසේ වෙතත් ඩීසල් ලීටරයක් රුපියල් 10කින් වැඩිවුවත් බස් ගාස්තු සංශෝධනයක් කිරීමට එය ප්‍රමාණවත් නොවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති, ගැමුණු විජේරත්න මහතා පවසයි.

බස් ගාස්තු වැඩිකිරීමට ඩීසල් මිල 4%කින් පමණ වැඩිවිය යුතු බව පවසන ඔහු ඊයේ ඩීසල් මිල වැඩිකර ඇත්තේ 2%කින් පමණක් බව පැවසීය.

"මේ ඩීසල් වැඩිවීම අනිවාර්යයෙන්ම ඉදිරියටත් සිදුවෙමින් තියෙනවා. යම් ආකාරයකින් ලබන සැරේ අපිට බස් ගාස්තු සංශෝධනයකට යන්න ඉඩ තියෙනවා." ඔහු කීය.