bus-stop-issue

නියමිත බස් නැවතුම්පොළවල නතර නොකර වෙනත් ස්ථානවල නවතා මගීන් ඇතුල් කරගැනීම් හා බැස්සවීම සිදුකරන බස් රථ රියදුරන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස පොලීසි ඇතුළු වගකිවයුතු ආයතනවලින් ඉල්ලා සිටින බව ලංකා පෞද්ගලික මගී ප්‍රවාහන සේවක සංගමය සඳහන් කරයි.



මීට අමතරව මගීන් බැස්සවීමෙන් පසු අදාළ ස්ථානයේ සිටින මගීන් ඇතුල් කරගෙන තත්පර 60ක කාලයක් තුළ අදාළ ස්ථානයෙන් බස් රථය ඉදිරියට ගෙන යා යුතු බවත් මෙම නීතිය උල්ලංඝනය කරන බස් රථ රියදුරන්ටත් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද එම සංගමයේ ලේකම් කුමාරදාස කුලියාපිටිය මහතා සඳහන් කළේය.

බස් නැවතුම්පොළවලින් පිටත ස්ථානවල බස් රථ නවතා තබාගෙන සිටීමෙන් මෙන්ම මගීන් බස් රථ තුළට ඇතුල් කරගැනීමේදී හා බැස්සවීමේදී විවිධ අනතුරු සිදුවෙමින් තිබෙන බවත් මේ පිළිබඳව බලධාරීන් සොයා බලා නිසි ක්‍රියාමාර්ග ගත යුතු බවද පවසා සිටියේය.



මීට අමතරව කෙටි ගමන් සේවා බස් රථ ආරම්භ වන ස්ථානයේ සිට අවසන් වන ස්ථානය දක්වාත්, නැවත පැමිණීම සඳහාත් ගමන් කළ යුතු කාලයක් ප්‍රකාශයට පත් කළ යුතු බවත් සමහර මාර්ගවල මෙම ක්‍රමවේදය භාවිත වුවද මෙම නීතිය සියලුම මාර්ගවලට ඇතුළත් කළ යුතු බවද සඳහන් කළේය.

බස් රථ සේවය දියුණු කිරීමට අදාළ කටයුතු වෙනුවෙන් බොහෝ බස් රථ හිමියන් පෙනී නොසිටන නිසා සේවක සංගමයක් ලෙස බස් රථ සේවය විධිමත් කර ගැනීමට අවශ්‍ය මැදිහත් වීම සිදුකරන බවත් මගී ජනතාවට ගුණාත්මක බස් සේවාවක් ලබාදීම සඳහා බලධාරීන් නිසි වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද පවසා සිටියේය.
ඉන්දික හේවාවිතාරණ