chandimal-dharmashoka-donation

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තැබූ දිනේෂ් චන්දිමාල් සිය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ධර්මාශෝක විදුහලේදී ඉදිකර වූ ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගණය ඊයේ (01දා) පෙරවරුවේදී විවෘත කෙරිණ.

රුපියල් කෝටි දෙකකට අධික මුදලක් වියදම් කරමින් ඉදිකර වූ මෙය රංජිත් පණ්ඩිතගේ ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙසින් නම්කර ඇත. පාසල් ක්‍රීඩාවෙන් පසු ක්‍රිකට් දිවිය තව තවත් ශක්තිමත් කිරීමට සිය ආයතනයේ රැකියාවක් ලබාදී, වැටුපකට අමතරව ක්‍රීඩාවට අවශ්‍ය අනෙකුත් අවශ්‍යතා සොයා බලා තමන්ට ලබාදුන් මඟපෙන්වීමට කෘතගුණ දක්වීමක් ලෙස මෙය රංජිත් පණ්ඩිතගේ මහතාගේ නමින් නම්කර, ඒ මහතා ලවාම විවෘත කිරීමට සැලැස්වීමද විශේෂත්වයකි.



ධර්මාශෝක විදුහලේ ආදි සිසු, විශ්‍රාමික මේජර් ජෙනරාල් බිමල් විදානගේ මහතාගේ අදහසක් අනුව මෙම ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගණය දිනේෂ් චන්දිමාල් විසින් ඉදිකිරීමට පියවර ගැනිණ.

මෙය ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉදිකිරීම් අංශයේ නිලධාරීන්ගේ පූර්ණ ශ්‍රම දායකත්වය ලබාදී තිබූ අතර, එහි වැඩ නිමා වනතෙක්ම සිය කාලය, ශ්‍රමය වැය කරමින් දිනපතාම පාහේ එහි අධීක්‍ෂණ කටයුතු ක්‍රිකට් පුහුණුකරු ජී. අශෝක කුමාර මහතා විසින් සිදුකරනු ලැබීය. ඔහුද චන්දිමාල්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වීමට මඟපෙන්වූ පුහුණුකරුවෙකු වෙයි.

මෙය ධර්මාශෝක විද්‍යාලයටම පමණක් සීමා නොවන අතර, චන්දිමාල්ගේ ඉල්ලීමකට අනුව අසල්වැසි අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද හා පී. ද එස්. කුලරත්න ව්දුහල්හි ක්‍රීඩකයන්ටද භාවිත කිරීමේ හැකියාව ඇත.
-කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත