china-asian-games

ඔලිම්පික් ක්‍රීඩා උළෙලට පමණක් දෙවැනි, ආසියාවේ අසිරිමත් ක්‍රීඩා සැණකෙළිය වන ආසියානු ක්‍රීඩා උළෙලේ 19වැනි අදියර චීනයේ හංජොහිදී ඊයේ (08දා) නිමාවට පත් විය. පසුගිය සැප්තැම්බර් 23වැනිදා සිට පුරා දින 16ක් පැවති මෙවර ක්‍රීඩා උළෙලේද, පදක්කම් සටහනේ පෙරමුණ හිමිකර ගැනීමට චීනය සමත් වූ අතර, ඔවුන් මෙවර රන් 201ක් සමගින් සමස්ත පදක්කම් 383ක් දිනාගැනීමට සමත් විය.

වසර 72ක ක්‍රීඩා උළෙල ඉතිහාසය තුළ චීනය වැඩිම රන් පදක්කම් සංඛ්‍යාවක් දිනූ රට වන අතර, 1982 වසරෙන් පසු මේ දක්වා චීනය අබිබවා යාමට හෝ ඒ ආසන්නය යාමටවත් කිසිදු රටකට හැකි වී නැත. චීනය මෙවර දිනූ පදක්කම් අනුව ඔවුන් මේ වනවිට රන් 1,674ක් සමගින් සමස්ත පදක්කම් 3,570ක් දිනා ඇත.



අවසන් වරට 2018 වසරේ ඉන්දුනීසියාවේ පැවති ක්‍රීඩා උළෙලේදීද එකඳු පදක්කමක් හෝ දිනාගැනීමට නොහැකි වූ ශ්‍රී ලංකාවට මෙවර පදක්කම් 05ක් දිනාගැනීමට හැකි විය. ඉන් තරුෂි කරුණාරත්න මී. 800 ඉසව්වෙන් දිනාගත් රන් පදක්කමට විශේෂ අවධානයක් හිමි වූ අතර, එය සැලකෙන්නේ, වසර 21කට පසු මෙම ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව දිනූ පළමු රන් පදක්කම ලෙසිනි. ඒ අනුව රටවල් 45ක් අතරින් ශ්‍රී ලංකාවට පදක්කම් සටහනේ 26වැනි ස්ථානය හිමිවිය.

ක්‍රීඩා උළෙල ඉතිහාසය තුළ මේ දක්වා රටවල් 44ක් එකඳු පදක්කමක් හෝ දිනා ඇති අතර, ඉන් රටවල්  07කට කිසිඳු පදක්කමක් දිනාගැනීමට හැකි වී නැත. ඒ අතර දකුණු ආසියානු රටවල් ද්විත්වයක් වන මාලදිවයින හා භූතානයද සිටියි. කෙසේ නමුත් ඇෆ්ගනිස්තානය ඊදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් 04ක් දිනාගැනීමට මෙවර සමත් වූ අතර,

එය පාකිස්තානයද අබිබවා ගිය දක්‍ෂතාවක් වීම සුවිශේෂීය. බංග්ලාදේශය දිනාගත්තේද ලෝකඩ පදක්කම් 02ක් පමණි.

ආසියානු ක්‍රීඩා උළෙලක් සඳහා චීනය සත්කාරක රට ලෙස කටයුතු කළ තෙවැනි අවස්ථාව මෙයයි. ඔවුන් මීට පෙර 1990 හා 2010 වර්ෂයන්හිදීද සත්කාරකත්වය දරා ඇත. එමෙන්ම මෙහි ඊළඟ අදියර එනම් 20වැනි ආසියානු ක්‍රීඩා උළෙල 2026 වසරේදී ජපානයේදී පැවැත්වීමට නියමිතව ඇත.

 සංජීව ධර්මසේන