choon-paan-theft

ත්‍රිරෝද රථ සොරකමකට සැකපිට චූන් පාන් රියැදුරකු ඇතුළු දෙදෙනකු පෙරේදා 29 අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ත්‍රිරෝද රථ සොරකම් රැසක් අනාවරණය කර ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි. අහුලාගත් රියදුරු බලපත්‍රයක ඡායාරූපය මකා ඊට තම ඡායාරූපය ස්කෑන් කොට අලවා චූන් පාන් රියැදුරා රැකියාව ලබා ගෙන ඇති බව අනාවරණය වී ඇති අතර සොරාගත් ත්‍රිරෝද රථ හතරක්, ව්‍යාජ අංක කෙටූ වැසි දෙකක්, ත්‍රිරෝද රථ ඇන්ජින් 02, හා ව්‍යාජ අංක තහඩු දෙකක් භාරයට ගත් බව ද පොලිසිය කියයි.

ඉකුත් ඔක්තෝබර් 22 දා බම්බලපිටිය ගාලුපාරේ මහල් නිවාස සංකීර්ණයක් අසලදී ත්‍රිරෝද රථයක් කොල්ල කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.ඒ පිළිබඳව බම්බලපිටිය පොලිසිය සිදු කරන විමර්ශනයට අමතරව තවත් විමර්ශනයක් සිදු කරන ලෙසට කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නෙරන්ජන් අබේවර්ධන මහතා කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට උපදෙස් දී තිබුණි.

ඒ අනුව ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් කුමාර මහතාගේ මෙහෙයවීමෙන් සිද්ධිය වූ ස්ථානයේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා දර්ශන භාවිත කරමින් සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු බම්බලපිටිය දුම්රිය ස්ථානය අසල දී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී බම්බලපිටිය, කතරගම, මීපේ සහ කොළඹ කුරුඳුවත්ත යන ප්‍රදේශවලින් කොල්ල කෑ ත්‍රිරෝද රථ රැසක තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ අනුව ත්‍රිරෝද රථවල කොටස් ගලවා අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටින උස්වැටකෙයියාව පුබුදුගම ප්‍රදේශයේ ගරාජ හිමියෙකු අත්අඩංගුවට ගෙන ඔහු සන්තකයේ තිබූ ත්‍රිරෝද රථ හතරක්, ව්‍යාජ අංක කෙටූ චැසි දෙකක්, ත්‍රිරෝද රථ ඇන්ජින් 02 හා ව්‍යාජ අංක තහඩු දෙකක් භාරයට ගත් බවත් ඒ අතර බම්බලපිටියෙන් හා මීපේ ප්‍රදේශයෙන් සොරා ගත් ත්‍රීරෝද රථ දෙකක් තිබී හමු වූ බවත් අනෙක් ත්‍රිරෝද රථ දෙකෙහි කොටස් ගලවා මීට පෙර අලෙවි කර තිබූ බවත් පැවසේ.



සැකකරු මාස  කිහිපයකට පෙර කතරගම වන්දනාවේ ගොස් සිටියදී මහමග නවතා තිබූ ත්‍රිරෝද රථයක් සොරාගෙන විත් එහි තිබූ රියදුරු බලපත්‍රයක ඡායාරූපයමකා ඊට සැකකරුගේ ඡායාරූපය ස්කෑන් කොට චූන් පාන් අලෙවිය සදහා පුවත් පතක පළ කර තිබූ දැන්වීමකට අනුව මීපේ ප්‍රදේශයට ගොස් එහි සම්මුඛ පරීක්ෂණයට ව්‍යාජව සැකසූ රියදුරු බලපත්‍රය ඉදිරිපත් කොට රැකියාව සිදු කරමින් සිටියදී සේවා සපයමින් සිටි එම ත්‍රිරෝද රථය සොරාගෙන පලා ගොස් තිබුණි. කතරගම ත්‍රිරෝද රථය රුපියල් 50,000කට බම්බලපිටිය ත්‍රිරෝද රථය රුපියල් 20,000 කට ද මීපේ ප්‍රදේශයේ චූන් පාන් ත්‍රිරෝද රථය රුපියල් 13,000කට ද, කුරුදුවත්ත ත්‍රීරෝද රථය රුපියල් 50,000කට ද උස්වැටකෙයියාව ප්‍රදේශයේ ගරාජ හිමියාට විකුණා මුදල් ලබා ගෙන ඇති බවත් එම මුදල් සැකකරුගේ කාමභෝගී ජීවිතයට හා මත්ද්‍රව්‍ය පානයට වැය කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු මව්පිය රැකවරණය අහිමි වී කුඩා කල සිට මග්ගොන ප්‍රදේශයේ ළමා නිවාසයක හැදුණු වැඩුණු අයෙකු බවත් මෙම ජාවාරමට සම්බන්ධ ගරාජ හිමියා කුඩා කාලයේදීම ඔහුගේ පියා මවට පොල්ලකින් පහර දී ඝාතනය කොට පසුව පියා ද ගෙල වැළලාගෙන සියදිවි හානි කරගත් පවුලක සාමාජිකයකු බවත් පොලිසිය පවසයි. ඒ අනුව අත්අඩංගුවට ගත් උස්වැටකෙයියාව සහ මග්ගොන ප්‍රදේශවල පදිංචි 22 සහ 34 වයසේ පසුවන සැකකරුවන් දෙදෙනා අලුත්කඩේ අංක 03 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න