claris-de-silva-passed-away

ලාංකේය කථානාද සිනමාවේ පළමු දශකය හැඩගැන්වූ සිනමා තාරකාවන් අතර ජනප්‍රියත්වයේ හිනිපෙත්තේම රැඳි සිටි ප්‍රවීණ සිනමා නිළියක වූ කැලැරිස් ද සිල්වා මහත්මිය අභාවප්‍රාප්තවී තිබේ. ඇයගේ අවසන් ඉල්ලීම මත පැය 24ක් තුළ අවසන් කටයුතු සිදු කර තිබේ.ඇය මිය යන විට 89 වැනි වියෙහි පසු වුවාය. අවිවාහකව සිටි ක්ලැරිස්ගේ අවසන් කටයුතු නාවලදි සිදු කෙරුණේ  ඇගේ අන්තිම කැමැත්ත මතය.

අනුරාධපුර හෝලි ෆැමිලි  කන්‍යාරාමයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඇය පසුව කලා ක්ෂෙත්‍රයට එකතු වූවාය.


මෙරට සිනමා සංස්කෘතියක් ඇති කිරීමෙහිලා මූලික අඩිතාලම වැටුණ කාලයේ රුක්මණී දේවී ළඟට වඩාත් කථාබහට ලක්වූ නිළියයි.

ඉන්දියානු සිනමා උප කුලයක් ලෙස ආරම්භ වූ මෙරට කථානාද සිනමාව, ඒ වන විට සම්පූර්ණයෙන්ම දකුණු ඉන්දියානු සිනමාවේ ඡායා පිටපතක් ලෙස පැවතියේය. 1950 දශකයේ සිනමාවට පිවිසි ක්ලැරිස්ද සිල්වාද දකුණු ඉන්දියානු නිළියන් සතු කවාකර මුහුණ සහ ආකර්ශණීය දෑස් වලින් යුතු සුරූපිනියක විය.ඇයගේ මුල්කාලීන රඟපෑම් සම්පූර්ණයෙන්ම දකුණු ඉන්දියානු රංගන ශීල්පිනියන්ගේ රඟපෑම් ගුරු කොට ගන්නා ලදී.

උමතු විශ්වාසය,පුදුම ලේලී,අහංකාර ස්ත්‍රී වැනි චිත්‍රපටවල රංගනයේ යෙදුණු ඇයගේ රංගන දිවියේ කූටප්‍රාප්තිය ලෙස සැළකිය හැක්කේ 1955 වසරේ තිරගත වූ "මාතලන්" චිත්‍රපටයේ ඈ විසින් සිදු කළ, චිත්‍රවල්ලීගේ චරිතයයි...ඒ හරහා ඇය ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂයන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් වූ අතර කැලැරිස් ද සිල්වා මෙරට සිනමා ඉතිහාසය තුළ නොමැකෙන සටහනක් තැබීමට සමත් විය.



එකම චරිතයක් තුළ ගොවි තරුණියක,පෙම්වතියක,රාජ කුමාරියක, සිරකාරියක,මවක,නාට්‍යාංගනාවක යන විවිධ අවස්ථා නිරූපණය කරමින් ඇය රඟපා තිබුණි.

1965 වසරේ තිරගත වූ " අල්ලපු ගෙදර" නම් හාස්‍යමය චිත්‍රපටයට හියුගෝ මාස්ටර් සමඟ කරන "සැතපෙන කල විඳ නිදි සුවේ" ගීතයට ඇය විසින් ඉදිරිපත් කරන නැටුම කථාබහට ලක්වූවකි.

උමතු විශ්වාසය,පුදුම ලේලී,මාතලන්,රම්‍යලතා,සොහොයුරෝ,පුරුෂ රත්නය,සුන්දර බිරිඳ,සුලලිත ශෝභනී,අල්ලපු ගෙදර,ඉවසන දනා,පැංචා,උතුම් ස්ත්‍රිය වැනි 50,60 දශකයන් වල තිරගත වූ සිනමාපට රැසකට රංගනයෙන් දායක වූ කැලැරිස්ද සිල්වා චිත්‍රපට පසුබිම් ගායිකාවක්ද වූවාය.
 ඇය පුරුෂ රත්නය චිත්‍රපටයට "රුහුණු දේස සොබමාන මාළිගේ" ගීතයත් මාක් ඇන්ටනී සමඟ "ගජ මුතු හර පරදාසේ" ගීතයත් ගායනා කළාය. එමෙන්ම සුහද දිවි පිදුම චිත්‍රපටයේ "ජීවනයේ ආදර සේද වළා" ගීතයද ගායනා කළාය.
පසු කළෙක ඇය "මමයි රජා" චිත්‍රපටයට රංගනයට දායක වූ අතර මෑතකදී "ධවල පවුර" නම් චිත්‍රපටයේ රංගනයේ යෙදුණි.