coconut-tree-death

පොල් ගසෙන් බසිමින් සිටි පුද්ගලයකු පොල් ගස වටා එතී තිබූ කැට කැරැල්ල ගසෙහි කරුව මත වාඩි වී සිටින අයුරින් හිටි හැටියේ මියගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලීසිය කියයි.

එලෙස මියගොස් ඇත්තේ පොකුනුවිට වැලිකල ප්‍රදේශයේ පදිංචිව සිටි පී.ඒ. සංජය ප්‍රියංකර නමැති 39 හැවිරිදි තිදරු පියෙකි. මියගිය අය පොල් කැඩීමේ රැකියාවේ නිරත අයකු වන අතර පෙරේදා (20) පොකුණුවිට වැලිකල තිබ්බොටුගොඩ ප්‍රදේශයේ වත්තක අඩි 60 ක පමණ උසින් යුත් පොල් ගසක පොල් කඩා යළි බිමට බසිමින් සිටිය දී මෙම අවාසනාවන්ත මරණය වී ඇතැයි පොලිසිය කියයි.



පොල් ගහේ සිට අඩි 35 ක් පමණ පහතට බසිමින් සිටිය දී හිටි හැටියේම නතර වීම සම්බන්ධයෙන් වත්තේ හිමිකරු විමසිලිමත් වීමේ දී මිය ගිය අය අඩි 25ක පමණ වූ උසින් පොල් ගස වටා එතී තිබූ කැටකැරැල්ල ගසේ කරුව අසල හිඳගෙන සිටින අයුරු දැක කතා කළද එයට ප්‍රතිචාරයක් නොදක්වා ඇතැයි පොලිසිය කියයි.

අනතුරුව මියගිය අයගේ පවුලේ ඥාතීන්ට ඒ බව දන්නා ඔවුන් ද එම ස්ථානයට කැඳවා 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට කරන ලද පැමිණිල්ලකට අනුව හොරණ පොලිසියේ පරීක්ෂක සමීර රණසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් පැමිණ හොරණ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් එම ස්ථානයට කැඳවීමට පියවර ගෙන ඇත.



අනතුරුව හොරණ මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂ මුළු දිවයිනටම සාම විනිසුරු සුමේධ ගුණවර්ධන මහතා එම ස්ථානයට කැඳවා ඔහුගේ නියෝග මත මළ සිරුර බිමට ගැනීමට කටයුතු කළ බව පොලිසිය කියයි.

මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය හොරණ මූලික රෝහලේ දී පැවැත්වීමට නියමිතය. හොරණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එස්. පනාවල මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක සමීර රණසිංහ මහතා පරීක්ෂණ පවත්වයි.

බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ