ලබන 15 වැනිදා පැවැත්වෙන මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින මහනුවර දෙල්තොට ලිට්ල්වැලි ප්‍රදේශයේ දරුවකු පාසල නිම වී එහි අතිරේක ශිෂ්‍යත්ව පන්තියට ද සහභාගි වී නිවස කරා යමින් සිටියදීඅධික වර්ෂාවෙන් දෙගොඩතලා ගිය සුදුවැල්ල ජනපද ඔයට වැටී ගසාගෙන ගොස් ඇති අතර ඔහුගේ සිරුර ඊයේ 12 උදැසන හමුවී ඇතැයි ගලහ පොලිසිය පවසයි.මෙසේ මියගොස් ඇත්තේ, දෙල්තොට ලිටිල් වැලි කනිෂ්ඨ විද්‍යාලයේ පහ ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ කාන්දීපන් දීවාන් නමැති දස හැවිරිදි සිසුවෙකි.
ඔහු නිවෙස බලා යමින් සිටියදී අනාරක්ෂිත පාලමකින් පෙරේදා (11) සවස ඔයට වැටී ගසාගෙන ගොස් අතුරුදන්ව සිටි අතර ගලහ පොලිසිය හා ප්‍රදේශවාසීන් පෙරේදා වනතෙක් සොයා බැලුව ද ඔහු සොයා ගැනීමට නොහැකි විය. රාත්‍රිය එළඹ නිසා සොයා ගැනීමට නොහැකි වී ඇත.දරුවා වැටුණ කුඩා පාලමේ සිට කිලෝමීටර් තුනක් පමණ ගසාගෙන ගොස් කුඹුරුවත්ත හෙල්ලෙන පාලම අසල රැඳී තිබියදී සිරුර සොයා ගෙන තිබේ. පාසලේ අතිරේක ශිෂ්‍යත්ව පන්තියට සහභාගි වූ මෙම සිසුවා යළි නිවසට ගොස් ඇත්තේ තනිවම බව පොලිසිය පවසයි.
අධික වර්ෂාව සමඟ මෙම කුඩා ඔයේ හා මාර්ගවල ජලය වැඩි වී තිබී ඇති අතර දරුවා මෙම මාර්ගයේ ගමන් කරමින් සිටි බව යමකු දැක ඇත.නමුත් දරුවා නිවසට ඒම පමා වීම නිසා සොයා බැලීමේදී දරුවා ඔයට වැටී ගසාගෙන ගොස් ඇති බව තහවුරු වී තිබේ. සුදුවැල්ල ග්‍රාම සේවා වසමේ ඇති මෙම ඔය හරහා ඇත්තේ විදුලි කණු හතරක් යොදා ගම්වාසීන් සකසා ගත් කුඩා පාලමකි.
දෙපස ඇඳි රහිත ඒදණ්ඩක් බඳු මෙම පාලම මතින් කුඩා දරුවන් ඇතුළු ගම්වාසීන් එගොඩට මෙගොඩ යන්නේ ඉතා අවදානම් ගමනක් බව ඔවුහු පවසති.
දරුවා මෙම පාලම මතින් ඔයට වැටී ඇතැයි තහවුරු වීම නිසා ප්‍රදේශවාසීන් මෙසේ සොයා බලා තිබිණි. මියගිය කාන්දීපන් පවුලේ වැඩිමලා වූ අතර ඔහුට එක් සොහොයුරියක හා සොහොයුරෙක් සිටිති. මව පියා එදිනෙදා කුලී වැඩ කරමින් ජීවත් වන්නවුන් ය. සිසුවා මෙම ඉරුදින පවත්වන ශිෂ්‍යත්ව විභාගයට සූදානම්ව සිටි අතර ඔහු පන්තියේ දක්ෂ සිසුවකු බව ලිටිල් වැලි කනිෂ්ඨ විද්‍යාලයේ ගුරුවරු පවසති.
ඩබ්ලිව්.ඒ. අසේල
0 Comments