dhammika-perera-president-election

මෙවර සතිඅන්තක පුවත්පතකට අදහස් දක්වමින් ප්‍රකට ව්‍යාපාරික හා පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා තමා ජනපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වන බව දන්වා ඇත.


ඉරිදා දේශය පුවත්පතට අදහස් දකවමින් තමන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂා කරන බවත් එහෙත් එලෙස ජනපතිවරණ සටනට පිවිසෙන්නේ සමස්ත ඡන්දවලින් 51%ක් ලබාගත හැකි බවට විශ්වාසය තහවුරු වුවහොත් පමණක් බවත් කියා තිබේ.


 තමන්ගේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් බහුතර පක්ෂ එකඟතාවක් ඇතිවුවහොත් එය ස්වකීය මැතිවරණ සටනට විශාල ජවයක් වන බව ඔහු කියා ඇති අතර ඔහු කවර පක්ෂයක් නියෝජනය කරන්නේද යන්න පැහැදිලි කර නැත.
 තමන් දැනටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන බව පමණක් කියා තිබේ.

දිවයිනේ ප්‍රධාන පෙළේ සමාගම් 18ක පමණ අධිපතිවරයා ලෙස කලකට පෙර කටයුතු කළ පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියට පත්වූ අවස්ථාවේ ඇමති තනතුරක් ලද නමුත් එවක අගමැතිව සිටි රනිල්ව වික්‍රමසිංහට ‘කරන්න බැරිනම් අස්වෙන්න‘ යයි මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා දන්වා ගැටලුවකට මුහුණ දුන්නේය.


අනතුරුව රනිල් ජනපති පදවියට පත්වූ පසු ඔහුට නැවත ඇමති ධූරයක් හිමි නොවීය.

මින් ඉහත මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති හා ප්‍රකට ව්‍යාපාරික ජනක රත්නායක මහතාද ජනපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වන බව කියා සිටියේය.