dhanish-ali-fort-railway-station

පසුගිය අරගල සමයේ කැපී පෙනෙන චරිතයක් බවට පත්ව සිටි රූපවාහිනියට කඩාවැදී කතාවක් කිරීම නිසා වඩාත් ඉස්මතුවූ ධානිෂ් අලි ඊයේ කොටුව දුම්රිය ස්ථානයේදී ඇති කරගත් ආරවුලකින් පසු පොලිස් අත්අඩංගුවට පත් විය.
ඔහු ඊයේ (27) දහවල් කෑම පැයේ කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය ප්‍රවේශ පත්‍ර වෙන්කිරීමේ අංශයට ගොස්

කවුන්ටර වල 20-25 පමණ දෙනා රස්තියාදු වෙමින් සිටින බවට ෆේස් බුක් ලයිව් ඔස්සේ චෝදනාත්මක වීඩියෝවක් කරමින් සිටියේය.

ඔහු පෙන්වා දුන්නේ කෑම පැයට යයි කියමින් කවුන්ටර වල සේවකයින් ඇතුළේ කෑමට ගියත් නැවත වේලාවට ඇවිත් නැති බවත් වැඩ කරන්නේ එක් අයෙකු පමණක් බවත්ය. (මෙය රජයේ කාර්යාල වල දැන් සාමාන්‍ය තත්වයක් බවට පත්ව තිබේ)
මේ ගැන චෝදනා කරමින් ඔහු තනියම ලයිව් වීඩියෝව කළද අවට සිටි අයට මේ ප්‍රමාදය ප්‍රශ්නයක් වී නොතිබූ බවද හඳුනාගන්නට ලැබිණි.
කෙසේ හෝ කෑම කා අහවරවී පැමිණි සේවකයින් ඔහුට පහරදෙන අතර එම අවස්ථාවේ ඔහු එම සේවකයින්ගේ මූණු පෙන්වමින් ‘මට මූ තමයි ගැහුවේ‘ ආදී ලෙස යාවත්කාල කරමින් වීඩියෝව පවත්වාගෙන ගියේය.


පසුව පොලිසිය කැඳවා ඔහු බාරදෙන්නට දුම්රිය ස්ථාන බලධාරීන් කටයුතු කර තිබේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී ‘කලහකාරී ලෙස හැසිරීම‘ හේතුව මුල් කරගෙන පොලිසිය ඔහුව ඊයේ අත්අඩංගුවට ගත් බව සඳහන් විය.
අද (28) දිනයේ ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.