ඔස්ට්‍රේලියාවේ පැවති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී කාන්තාවකට ලිංගික බලහත්කාරකම් කිරීමේ චෝදනා මත ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කිරීමට ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.
මේ පිළිබඳ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් දන්වා සිටියේ, ධනුෂ්ක සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය විසින් පත්කරන ලද ස්වාධීන පරීක්ෂණ කමිටුව විසින් ඒකමතිකව මෙම තහනම ඉවත් කිර්මට නිර්දේශ කරනු ලැබූ බවයි.
මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක, නීතිඥ නිරෝෂණ පෙරේරා සහ නීතීඥ අසේල රැකව යන මහත්වරුන්ගෙන් සමන්විත වූ මෙම පරීක්ෂණ කමිටුව මෙහිදී තවදුරටත් දැනුම්දී ඇත්තේ ඔහුට සාමාන්‍ය පරිදි ක්‍රිකට් ක්‍රීඩාව සිදුකිරීමටත්, ජාතික කණ්ඩායමේ පුහුණුවීම් නැවත ආරම්භ කිරීමටත් අවස්ථාව උදාවන බවයි.
ධනුෂ්ක පසුගිය 2022 වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ඉහත චෝදනාවට ලක් වූ අතර, එහිදී නිව්සවුත් වේල්ස් දිස්ත්‍රික් උසාවිය වෙත කරනු ලැබූ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට පත්විය.
ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩාවට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කීර්තිනාමයට වූ බලපෑම සලකා බලමින් ක්‍රිකට් විධායක කමිටුව ධනුෂ්ක ගුණතිලකගේ සියලු ක්‍රිකට් අත්හිටුවීමට කටයුතු කළේය.
කෙසේ නමුත් පසුගිය මාස 11 පුරාවට නිව්සවුත් වේල්ස් දිස්ත්‍රික් අධිකරණයේ නඩු විභාගයකට මුහුණ දුන් ධනුෂ්කට එම සියලු චෝදනාවන්ගෙන් නිදහස්වීමට හැකි වූ අතර, ඒ හේතුවෙන් ඔහු මෙම මස 03වැනිදා නැවත ශ්‍රී ලංකාවටද පැමිණියේය.
මේ අතර ඊයේ (17දා) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසා සිටියේ, ධනුෂ්කට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කිරීම නිතී විරෝධි බවයි.
එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ක්‍රීඩා ඇමති,
“ධනුෂ්කගේ කාරණය විනය පිළිබඳ ගැටලුවක්. රටට අපකීර්තියක් වූ නිසයි ඔහු තහනම් කරන්නේ. මෙය අධිකරණයේ වාර්තා වුණ නීතිපති උපදෙස් මත ගත් තීරණයක්. එවන් තත්ත්වයක ධනුෂ්කගේ තහනම ඉවත් කිරීම අධිකරණයට කළ අපහාසයක්. රටේ නීතියට අනුවයි තහනම් කරලා තියෙන්නේ. ඒ තහනම ඉවත් කරන්න නම් ඒකට ක්‍රියාවලියක් තියෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ යුතුයි” යැයි පැවසීය.
මෙහිදී ක්‍රීඩා අමාත්‍යවරයා පෙන්වා දුන්නේ අදාළ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් තමන්ගේ මතය ක්‍රිකට් ආයතනය විසින් නොවිමසු බවයි.
0 Comments