dilanka-court-case

අධිකරණයෙන් වරදකරු කළ චූදිතයකුගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීම සඳහා ආගමන විගමන පාලකවරයාට ව්‍යාජ ලිපියක් ඉදිරිපත් කිරීම සහ අදාළ නඩු ගොනුව අස්ථානගත කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරිය ලබන 25 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එම්. රිස්වාන් මහතා පෙරේදා (14) නියෝග කළේය. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරිය ලෙස සේවය කළ කොළඹ ප්‍රදේශයේ පදිංචි රංජනී නමැත්තියය.

මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් වංචා විමර්ශන කාර්යාංශය අධිකරණයේ පවත්වාගෙන ගිය නඩුවක වරදකරු වූ චූදිතයකුගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට සැකකාරිය අත්තනෝමතික ලෙස ව්‍යාජ ලේඛනයක් යොමු කර ඇති බවටත් අදාළ නඩු ලේඛනය අස්ථානගතකර ඇති බවටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ, ජීවිතාරක්ෂණ සමාගමකින් රුපියල් ලක්ෂ 30කට අධික මුදලක් සම්බන්ධයෙන් ව්‍යාජ ලේඛන සකස් කර වංචා කිරීමේ සිද්ධියට අදාළව වංචා විමර්ශන කාර්යාංශය ගෙනගිය නඩුවකට අදාළ පුද්ගලයකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය චෝදනා අටකින් හතකට වරදකරු කරමින් සිරදඬුවම් නියම කර තිබුණේ ඉකුත් පෙබරවාරි මස 15 වැනිදා බවය.



එදිනම අධිකරණයට අභියාචනයක් ගොනුකර ඇති බවත් එහිදී චූදිතට ඇප ලබා දී ඇති බවත් සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අභියාචනය විභාග කිරීම සඳහා අදාළ නඩු ගොනුව මහාධිකරණයට යැවීම පිණිස සොයා බැලීමේ දී එය අස්ථානගතව ඇති බවට අධිකරණ ලේඛනාගාර නිලධාරින් මහේස්ත්‍රාත්වරයාට දැනුම් දී තිබූ බව ද ප්‍රකාශ කළේය. පසුව ඉකුත් 12 වැනිදා සැකකාර රෙජිස්ට්‍රාර්වරිය අධිකරණ නියෝගයක් සහ නඩු ගොනුවක් රහිතව ලිපියක ආකෘතියක් අධිකරණ යතුරු ලියන්නියට ඉදිරිපත් කරමින් එය යතුරුලියනය කර දෙන   ලෙසට ඉල්ලා ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සැක සිතී ඇති යතුරුලියන්නිය අදාළ නඩු ගොනුව පරීක්ෂා කර බැලීම සඳහා ලේඛනාගාරයට යෑමේ දී එය අස්ථානගත වූ නඩුවට අදාළ ලිපියක් බවට තහවුරු කරගෙන ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ නිලධාරීන් මහේස්ත්‍රාත්වරයා දැනුවත් කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙසට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා තම දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බවට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය. එසේම, සැකකාර රෙජිස්ට්‍රාර්වරිය ආගමන විගමන පාලකවරයා වෙත අදාළ චූදිතගේ විදෙස් ගමන් තහනම ඉවත් කළ බවට සඳහන් ලිපියක් ෆැක්ස් මගින් යොමුකර තිබූ බවත් ඊට අදාළ කොළ කැබැලි කිහිපයක් සැකකාරිය සේවය කළ කාමරයේ කසළ බඳුනක තිබී සොයාගෙන ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.



මෙම අස්ථානගත වූ නඩු ගොනුව මෙතෙක් සොයා ගෙන නොමැති බවත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන්ව නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. සැකකාරිය සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති සාක්ෂි මොනවාදැයි මෙහිදී මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ලෙන් විමසා සිටියේය. සැකකාරිය සම්බන්ධයෙන් දුරකතන වාර්තා විශ්ලේෂණය කළ බවත් එහිදී සැකකාරිය අදාළ පුද්ගලයා සමග අවස්ථා ගණනාවක දී දුරකතනයෙන් සම්බන්ධ වී ඇති අතර එක් අවස්ථාවක දී විනාඩි 20ක පමණ දුරකතන ඇමතුමක් ලබා ගෙන ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

සැකකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන මහතා සඳහන් කර සිටියේ තම සේවාදායිකාව වසර 25ක සේවා කාලයක් නිකැළැල්ව රාජකාරි කළ තැනැත්තියක බවය. එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නගා ඇති අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන අතර, අධිකරණයට අපහාස කිරීමක් සිදු වන්නේ පවතින නඩුවකට අගතියක් සිදුවුවහොත් පමණි යන්න ද නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

එමෙන්ම නඩු ගොනුව අතුරුදන්වීම සම්බන්ධයෙන් තම සේවාදායිකාවට චෝදනා කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී ඇත්දැයි මෙහිදී නීතිඥවරයා විමසා සිටියේය.

අතුරුදන් වූ නඩු ගොනුව සැකකාරිය සතුව නොමැති නම් අදාළ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමේ ලිපිය සකස් කිරීමට අවශ්‍ය කරුණු ලබාගැනීමට හැකි වන්නේ කෙසේදැයි මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර සිටියේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකාරිය ලබන 25 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරමින් එදින තෙක් නඩුව කල් තැබීය. සැකකාරිය වෙනුවෙන් නීතිඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන, නීතිඥ ප්‍රසාද් සිල්වා සහ නීතිඥ චින්තක ප්‍රසාද් යන මහත්වරුන් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළහ.
නිමන්ති රණසිංහ