dompe-incident

වාරික මුදල් නොගෙවීම හේතුවෙන් මූල්‍ය සමාගමක් සිය බස් රථය අත්පත් කර ගැනීම නිසා සිත් තැවුලට පත් විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ව්‍යාපාරික පුතකු අතුරුදන්ව ඇතැයි එම විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරිවරයා දොම්පේ පොලීසියට ඊයේ (28) පැමිණිලි කර ඇත.

අතුරුදන්ව සිටින මෙම විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරිවරයා ගේ ව්‍යාපාරික පුතාගේ යතුරුපැදිය, ආරක්ෂිත හිස් වැස්ම සහ පැළඳ සිටි පාවහන් යුගල කැලණි ගඟ ආසන්නයේ පිහිටි හංවැල්ල පාලම ළඟ තිබී සොයාගත් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙසේ අතුරුදන්ව ඇත්තේ දොම්පේ, තිත්තපත්තර ප්‍රදේශයේ පදිංචි චන්ද්‍ර භාරත බණ්ඩාර මහතාය.



මොහු හතළිස් පස් හැවිරිදි වියේ පසුවන්නෙකි.

මාසික වාරික නොගෙවීම නිසා මීට මාස කිහිපයකට ඉහතදී පුතාට අයත් බස් රථයේ අදාළ මූල්‍ය සමාගම විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන රැගෙන ගිය බවත් ඒ නිසා ඔහු මත්පැන් පානයට ද ඇබ්බැහි වී සිත් තැවුලෙන් පසු වූ බවත් විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරීවරයා කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

තම දෙවැනි පුතා සිය දිවි නසාගන්නා බවට කිහිප අවස්ථාවකදීම ප්‍රකාශ කර තිබුණු බවද එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව කියති.



පුතාගේ මිතුරකු දුරකතනයෙන් ඊයේ අලුයම් කාලයේ කතා කර ඔහුගේ යතුරුපැදිය ඇතුළු දේපළ හංවැල්ල පාලම අසල තිබෙන අයුරු දක්නට ලැබුණු බව විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරිවරයා පොලිසියට පවසා ඇත.

විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරීවරයා පසුව පුතාගේ බිරිඳ සමඟ එහි ගොස් ඒවා හඳුනාගෙන තිබේ. දොම්පේ පොලිසිය අතුරුදන්ව සිටින ව්‍යාපාරිකයා සොයා ගැනීමට පරීක්ෂණ පවත්වයි.
-  ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය