drug-import-issue

රෝහල් කිහිපයකදී රෝගීන්ට අසාත්මිකතා ඇති වූ ඉමිනොග්ලොබින් ඖෂධය ආනයනය සඳහා සැපයුම්කරුට අනුමැතිය ලබා දී ඇතැයි යන සහතිකය ව්‍යාජ එකක් වන බවට ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට දැනුම් දී ඇති අතර, ඒ අනුව ඒ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාරිතමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

එසේම මෙම ඖෂධය මෙරට තුළ භාවිතය අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇති අතර, මේ වනවිට ආනයනය කර ඇති එම ඖෂධ කුප්පි 3,085ක් සදහා පියවා ඇති රුපියල් මිලියන 40ක මුදල වෙනත් ඖෂධ සදහා සැපයුම්කරුට ගෙවීමට නියමිත මුදල් වෙනුවෙන් හිලව් කර ගැනීමටද අමාත්‍යාංශය තීරණය කර තිබේ.



ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ ආනයනය කර ඇති මෙම ඖෂධය රෝහල් කිහිපයක රෝගීන්ට ලබාදීමේදී ඇති වූ අසාත්මිකතා හේතුවෙන් ඖෂධය පිළිබඳ විමර්ශනය කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් කටයුතු කරන ලදී. ඒ අනුව ඖෂධ ආනයනය කිරීම සදහා එම අධිකාරිය විසින් ලබාදිය යුතු සහතිකය ලබාගැනීම සඳහා සැපයුම්කරු විසින් කිසිදු ලියවිල්ලක් ඉදිරිපත් කර නොමැති බවට හා එවැනි සහතිකයක් අධිකාරිය විසින් නිකුත් කර නොමැති බවට අනාවරණය වී ඇත.

කෙසේ වුවද ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමැතිය ලබා දී ඇති බවට වූ සහතිකයක් සැපයුම්කරු විසින් ඉදිරිපත් කර ඇති අතර, එය ව්‍යාජ එකක් වන බවට ජාතික ඖෂධ නියාමන අධිකාරිය සැක පළ කරයි. ඒ අනුව ඒ පිළිබද සෞඛ්‍ය අමාත්‍යවරයාට දැනුම්දීමෙන් අනතුරුව අමාත්‍යවරයා විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙලෙස විමර්ශනයක් ආරම්භ කර ඇත.



විෂ නැසීමට, දැඩි සත්කාර ඒකක ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ප්‍රෝටීණ තත්ත්ව ඉහළ දැමීමට යනාදී ප්‍රතිකාර සඳහා භාවිත කරන ඉමිනොග්ලොබින් ඖෂධ කුඩා කුප්පි 22,500ක්, ඇමරිකන් ඩොලර් මිලියන 2,925,000ක පිරිවැයක් යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඇණවුම් කර තිබුණේ හදිසි මිලදී ගැනීම් යටතේය.

- නිදර්ශනි වික්‍රමසිංහ