easter-attack-commision-update

පාස්කු ඉරු දින ප්‍රහාරය සොයා බැලීම පිළිබද පත්කළ ජනාධිපති කොමිසමේ සාක්කි ජංගම දුරකතනය මාර්ගයෙන් පටිගත කිරීම සම්බන්ධ චෝදනාවලට වරදකරු කළ නීතිඥවරයකුට මාස 8ක කාලයකට ඔහුගේ නීතිඥභාවය අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු ඊයේ (24 වැනිදා) කළේය.



මෙම අත්හිටුවීම ලබන වසරේ ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මකය.ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ තීන්දු කළේ, එම කොමිසමේ ලේකම් එල්.එම්.බී.පී. හේරත් මහතා විසින් ගොනු කරනු ලැබූ පැමිණිල්ලක් විභාගයට ගැනීමෙන් පසුවය.මෙම නියෝගය නිකුත් කෙරුණේ, බුවනෙක අලුවිහාරේ, එස්. තුරේරාජා සහ මහින්ද සමයවර්ධන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසිනි.

පසුගිය සැප්තැම්බර් 9 වැනිදා අදාළ ජනාධිපති කොමිසමේදී එක්සත් ලංකා ජයමිතුල්ලා උලමා සංවිධානයේ මොහොමඩ් මුර්ෂා මර්ෂා නමැත්තා සාක්කි දෙමින් සිටියදී, ඔහුගේ සාක්කිය ජංගම දුරකතනයෙන් පටිගත කිරීමෙන්, නීතිඥවරයකුට නොහොබිනා ආකාරයට හැසිරීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන් උල්ලංඝනය කළා යැයි එම මහතාට චෝදනා එල්ල වී තිබිණ. නීතිපති වෙනුවෙන් නීතිඥ ගංගා වාකිෂ්ඨ ආරච්චි සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මහේෂ් ගොපල්ලව මහතා පෙනී සිටියේය.

විමුක්ති එස්. රුද්‍රිගු