egg-price-50

සමහර ප්‍රදේශවල දේශීය බිත්තරයක මිල රුපියල් 50 ඉක්මවා ගොස් තිබෙන බවත්, බොහෝ ප්‍රදේශවල බිත්තරයක මිල රුපියල් 47ත් රුපියල් 48ත් අතර මිලක් ගෙන තිබෙන බවත් ජාතික පාරිභෝගික පෙරමුණ සඳහන් කරයි. බිත්තර මිල ඉහළ යාම නිසා ආහාර නිෂ්පාදනයට අදාළ වියදම් ඉහළ යමින් තිබෙන බැවින්, ඉදිරියේදී ආපන ශාලා හා හෝටල්වල ආහාර මිල ඉහළ යාමේ අවදානමක්ද ඇතිවෙමින් තිබෙන බව එම පෙරමුණ පෙන්වා දෙයි.

ඉන්දියාවෙන් ගෙන්වන බිත්තර සතොස හරහා බෙදාහැරීමට කටයුතු කරන නමුත් සාමාන්‍ය වෙළෙඳ පොළට ඉන්දීය බිත්තර නොලැබීම නිසා බිත්තර වෙළෙඳුන් විසින් මේ ආකාරයට බිත්තර මිල ඉහළ දමමින් තිබෙන බවත්,

ඉන්දීය බිත්තරය සතොසට මුදාහැරි මුල් අවස්ථාවේදී දේශීය බිත්තරයක මිල රුපියල් 44ත් රුපියල් 45ත් දක්වා අඩු වන බවත් එම පෙරමුණ පෙන්වා දෙයි. දේශීය බිත්තර ඉල්ලුම මේ වන විට ක්‍රමානුකූලව ඉහළ යමින් තිබෙන බවත්, පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන බිත්තර ව්‍යාපාරිකයන් යැයි කියාගන්නා පිරිස් බිත්තර මිල ඉහළ දමමින් තිබෙන බවද ජාතික සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරයි. ගොවිපළවල් තුළින් බිත්තරයක් ලබාදෙන්නේ රුපියල් 38ත් රුපියල් 40ත් අතර මුදලකට වුවත්, වෙළෙඳ පොළ තුළදී බිත්තරයක් අලෙවි වන්නේ රුපියල් 48ත් රුපියල් 50ක් වැනි මුදලකට බවද එම සංගමයේ සභාපති සුජීව ධම්මික මහතා සඳහන් කළේය.

අමුද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා බිත්තරයක් නිෂ්පාදනය කිරීමට රුපියල් 34ත් රුපියල් 35ත් අතර මුදලක් වැය වන බැවින් ගොවිපළ හිමියන්ට හිමිවන්නේ රුපියල් තුනත්, හතරත් අතර ලාභයක් පමණක් බවත්, අතරමැදියන් විසින් අතිවිශාල ලාභයක් ලබාගන්නා බවද පවසා සිටියේය. ඉන්දීය බිත්තරය වෙළෙඳ පොළට පැමිණෙන තෙක් බිත්තර ව්‍යාපාරිකයන් යැයි කියා ගන්නා පිරිසක් නොසිටි බවත්, සිදුවූයේ ගොවිළවල්වලින් තොග ගැනුම්කරුවන් බිත්තර මිලදී ගෙන සිල්ලර වෙළෙඳුන්ට අලෙවි කිරීම බවද කියා සිටියේය.



එහෙත් මේ වන විට බිත්තර ව්‍යාපාරිකයන් යැයි කියාගන්නා පිරිසක් විසින් ගොවිපළවල්වලින් බිත්තර මිලදී ගෙන බිත්තර තොග වෙළෙඳුන්ට ලබාදෙන බවත්, තොග වෙළෙඳුන් සිල්ලර වෙළෙඳුන්ට අලෙවි කරමින් තිබෙන බැවින් දේශීය බිත්තර මිල ඉහළ යමින් තිබෙන බවද සඳහන් කළේය.

දේශීය බිත්තර කර්මාන්තය අර්බුදයට ලක්වී මේ වන විට වසරක් ගත වී තිබෙන නමුත් අදාළ අර්බුදයට විසඳුම් ලබාදීමට මෙතෙක් බලධාරීන්ට නොහැකි වී තිබෙන බවත්, මේ නිසා දේශීය බිත්තර ඉල්ලුමට සරිලන ලෙස බිත්තර නිෂ්පාදනය නොවන බවත් ධම්මික මහතා පවසා සිටියේය. මේ වන විට දෛනකි බිත්තර ඉල්ලුම ලක්ෂ 70ක් පමණ වන බවත්, මෙම ප්‍රමාණයෙන් බිත්තර ලක්ෂ 40ක් කුඩා හා මධ්‍ය පර්මාණ බිත්තර ගොවිපළ හිමියන් විසින් හා ලක්ෂ 20ක් මහා පර්මාණ කර්මාන්තකරුවන් විසින් ලබාදෙන අතර, බිත්තර ලක්ෂ 10ක් ඉන්දියාවෙන් ගෙන්වන බවද හෙතෙම සඳහන් කළේය.



සාමාන්‍ය තත්ත්වයක් යටතේ දෛනික බිත්තර ඉල්ලුම ලක්ෂ 80ක් වුවත් බිත්තර මිල ඉහළ යාම නිසා බිත්තර ඉල්ලුම ලක්ෂ 70ක් දක්වා අඩු වූ බවද ඒ මහතා පැවසීය. මුල් අවස්ථාවේදී ඉන්දියාවෙන් ගෙන්වන බිත්තරයට ඉල්ලුම ඉහළ ගොස් දේශීය බිත්තර ඉල්ලුම අඩු වූ නමුත් මේ වන විට දේශීය බිත්තර සඳහා පවතින ඉල්ලුම ඉහළ යමින් තිබෙන බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
- ඉන්දික හේවාවිතාරණ