eheliyagoda-oic-death

ඇහැළියගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එස්. ප්‍රියංක සිල්වා (42) මහතා ඔහු නැවතී සිටි නිවෙසේදී ඉකුත් 20 වැනිදා මධ්‍යම රාත්‍රියේ රාජකාරි පිස්තෝලයෙන් හිසට වෙඩි තබාගෙන මියගොස් ඇති බව පොලීසිය පවසයි.

ස්ථානාධිපතිවරයා එදින රාත්‍රියේ ක්‍ෂේත්‍ර රාජකාරියට යාම සඳහා බව පවසමින්, එදින උප සේවයේ යෙදී සිටි නිලධාරියකුගෙන් මෙම රාජකාරි පිස්තෝලය ලබාගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

පොලිස් නිලධාරීන් සුපුරුදු ලෙස එම නිවෙසට පෙරේදා (21 වැනිදා) අලුයම ගොස් දෛනික වාර්තාව ඉදිරිපත් කිරීමට ස්ථානාධිපතිවරයාට කතා කිරීමේදී, නිවෙස දෙසින් දෙසින් කිසිදු ප්‍රතිචාරයක් නොවූයෙන් සොයා බලා ඇති අතර, ස්ථානාධිපතිවරයා ලේ ගලන තුවාල සහිතව කාමරයේ වැටී සිටිනු දැක ඇත. ඔවුන් ස්ථානාධිපතිවරයා ඇහැළියගොඩ රෝහලට රැගෙන ගොස් ඇති අතර, ඒ වන විටත් ඔහු මිය ගොස් සිටි බවට රෝහලේ වෛද්‍යවරුන් දැනුම් දී ඇත.මියගිය ස්ථානාධිපතිවරයා වාද්දුව මා වල දකුණ ක්‍රිස්ටල් පාරක්හි පදිංචිකරුවකු වන අතර, දෙදරු පියෙකි.ඉකුත් 2001 වසරේ උප පොලිස් පරීක්ෂකවරයකු වශයෙන් පොලීසියට එක්ව ඇති ඔහු කළුතර උතුර, බොරලැස්ගමුව යන පොලිස් ස්ථාන වල පොලිස් ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කර ඇත.


ඇහැළියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා වශයෙන් ඉකුත් 2021 නොවැම්බර් මාසයේදී පත්වීම ලබා පැමිණි ඔහු මිය යන තෙක්ම එහි සේවය කර ඇත.

ඔහු ඇහැළියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ කාලය තුළ ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන්, මත්කුඩු වැටලීම් රැසක්ම කර ඇති අතර, ඔහු ප්‍රදේශයේ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වී සිටි නිලධාරියකු බව පොලීසිය පවසයි.ඔහු සිය දිවි නසා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා මාධ්‍යයට ප්‍රකාශ කළේ, මෙම නිලධාරියා රාජකාරි පිස්තෝලයෙන් වෙඩි තබාගෙන සිය දිවි නසාගෙන ඇති බවට මෙතෙක් කළ විමර්ශන වලදී තහවුරු වී ඇති බවයි.මේ සම්බන්ධයෙන් රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නියමයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද ඔහු පැවැසීය.සිද්ධිය වූ දින රාත්‍රියේ රාජකාරි අවසන් කර නිවාසයේ රැඳී සිටි ඔහු, පසුව යළිත් පොලිස් ස්ථානයට පැමිණ රාත්‍රී 12.00ට පමණ රාජකාරි සදහා යැයි පවසා, ඔහුගේ රාජකාරි ගිනි අවිය ලබාගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

ස්ථානාධිපතිවරයා රැඳී සිටි නිවෙස පොලිස් ස්ථානය ඉදිරිපිට ප්‍රධාන මාර්ගය අයිනේ පිහිටා ඇති නිසා, කිසිදු නිලධාරියකුට වෙඩි තබා ගැනීමේ ශබ්දය ඇසී නොමැති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. මෙම නිලධාරියා සිය දිවි නසා ගැනීම හේතුවෙන් ඔහුට පොලිස් ගෞරවය උත්මාචාර හිමි නොවන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් කේ.එම්.ජී.ජේ. සමරසේකර මහතා සිද්ධිය වූ ස්ථානයට පෙරේදා (21) පැමිණ ස්ථානීය පරීක්ෂණය කර, මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණ පැවැත්වීය. අවිස්සාවේල්ල මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි කේ.එම්. මහසෙන් මහතා මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා ඇති අතර, වෙඩි තබා ගැනීමෙන් හිසට හා මොළයට සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් සිදු වූ මරණයක් ලෙසට ඔහු තීරණය කර ඇත. මියගිය ස්ථානාධිපතිවරයාගේ දේහය මහජන ගෞරවය සඳහා පෙරේදා රාත්‍රියේ පොලිස් ස්ථානයේ පැය 2ක පමණ කාලයක් තැන්පත් කර තබා, ඔහුගේ ගම් ප්‍රදේශ බලා රැගෙන ගොස් ඇත.

ඉන්දිකා රාමනායක