electric-vehicle-licence-misuse

පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව ඔක්තෝබර් 18 වෙනිදා එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් විය.
එහිදී  ශ්‍රී ලංකා රේගුවේ හිඟ බදු සම්බන්ධයෙන් ඇතිවූ කථාබහේදී අවභාවිත ලේඛන භාවිතයෙන් විදුලි මෝටර් රථ ගෙන්වීම ගැන කරුනු අනාවරණය විය.
රටට විදේශ විනිමය එවන අපේ විදේශගත ශ්‍රමිකයන් සඳහා විදුලි මෝටර් රථ ගෙන්වීමේ අවස්ථාවක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය විසින් ලබා දුන් අතර, විදේශ ප්‍රේෂණ මෙරටට එවීම දිරිමත් කිරීමේ අරමුණින් රජය විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිය අවභාවිතා කර බිලියන 1.2කට ආසන්න වටිනාකමකින් යුතු එවැනි විදුලි මෝටර් රථ 119 ක් ආනයනය කර ඇති බවත්  ඉන් වාහන 75 ක්ම  එක් ආයතනයක් මගින් ආනයනය කීරීම මගින් මෙම ක්‍රියාවලිය අවභාවිත වී ඇති බව කාරක සභාව විසින් අනාවරණය කරගෙන තිබේ.

එමෙන්ම, මෙම වාහන ආනයනය කිරීමට ප්‍රථම එම බලපත්‍ර අලෙවි කිරීමට මෙම ජාවාරම්කරුවන් කටයුතු කරන බවත්, වාහන බලපත්‍රයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් 250,000 ක් වන විට බලපත්‍රය අලෙවි කිරීම සඳහා  රුපියල් මිලියන 5 ක තීරු බද්දක්ද අය කරනු ලබන බවත් කාරක සභාව හමුවේ අනාවරණය විය. මෙම ජාවාරම්කරුවන් මෙමගින් විශාල ආදායමක් උපයන අතර රජයට ලැබිය යුතු බදු ආදායමද  අහිමි වීමක් සිදු වන බවද මෙහිදී අනාවරණය විය.

විදුලි මෝටර් රථ ගෙන්වීමට ලබා දී තිබෙන මෙම බලපත්‍රය භාවිතා කොට රටට හොර පාරෙන්, විදුලි මෝටර් රථ ගෙන්වා, ඒවා අලෙවි කිරීම පිළිබඳ වංචනික ක්‍රියාවලියක් සිදු වී ඇති බව අදාළ විමර්ශනයේ දී පැහැදිලි වූ බව කාරක සභා සභාපති පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.



ඒ නිසා එය වහාම නතර කිරීමටත්,  අදාළ විදෙස්ගත ශ්‍රමිකයන්ට ලැබිය යුතු ප්‍රතිලාභය අයථා ආකාරයෙන් භාවිතා කළ අයට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද සභාපතිවරයා මෙහිදී නියෝග කළේය. මෙම වාහන සඳහා නිසි පරිදි තීරු ගාස්තු අය කළේ නම් රටට ලැබිය යුතු ආදායම ගණනය කරන ලෙස ශ්‍රී  ලංකා ‍රේගුව වෙත නි‍ර්දේශ කළ අතර විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් ලබා දී තිබෙන මේ බලපත්‍රය විධිමත්ව භාවිතා කිරීම පිළිබඳ කම්කරු හා විදේශ රැකියා  පිළිබඳ අමාත්‍යාංශයත්, මුදල් අමාත්‍යාංශයත් එක්ව කටයුතු කළ යුතු බවට ද නිර්දේශ කළේය.