electricity-bill-water

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට ආසන්නව පවතින අයුරු ඡායාරූපයේ දැක්වේ.
ජාතික ජලවිදුලි බල පද්ධතියට අයත්, මාවුස්සාකැලේ ජලාශයේ විශාලත්වය අක්කර 1790 කි. එහි ජල ධාරිතාව අක්කර අඩි 93800 ක් පමණ වේ. ජලාශයේ වේල්ලේ උස අඩි 135 කි. මේ වන විට ජලාශය පිටාර මට්ටමට ජලය පිරීමට තවත් අඩි 05 ක් පමණ ඇති බව එම ජලාශය භාර ඉංජිනේරුවෝ පැවසූහ.

ජාතික ජලවිදුලිබල පද්ධතියට අයත් මාවුස්සාකැලේ ජලාශයෙන් ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන්, පොල්පිටිය හා බ්‍රෝඩ්ලණ්ඩ් යන විදුලිබලාගාර 05  සඳහා විදුලිය උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සැපයීම සිදු කරනු ලබයි.



මාවුස්සකැලේ ජලාශය මෙන්ම කාසල්රී හා කොත්මලේ ජලාශ පිටාර මට්ටමට ආසන්නව පවතී.
ජල විදුලි නිෂ්පාදනය මදි බව කියමින් විදුලිබල පනතේ වගන්ති උල්ලංඝණය කරමින් මෙම වසරේදී තුන්වැනි වරටත් විදුලි ගාස්තු ඉහළ දැමුනේ ලංකා විදුලිබල මණ්ඩලයේ දිනක ආදායම රුපියල් කෝටි 200ක් (බිලියන 2) ඉක්මවා තිබියදීය.

ඒ අනුව දළ වශයෙන් විදුලිබල මණ්ඩලය මාසයකට රුපියල් කෝටි හයදහසකට අධික ආදායමක් ලබන මොහොතේදී මේ දක්වා රුපියල් කෝටි 1800ක (බිලියන 18) සමස්ත අලාභයක් ලබා ඇති අතර අපේකෂිත ජල විදුලි නිෂ්පාදනයක් නොවුණ බවට ව්‍යාජ හේතුදක්වා විදුලි බිල ඉහළ නංවා තිබේ.

විදුලිබල මණ්ඩලයේ දත්තවලට අනුව තාප විදුලිය සඳහා දිනකට රුපියල් කෝටි හතළිහක (මිලියන 400) මුදලක් ගෙවීමට සිදුවී තිබේ. එසේ තාප විදුලිය සඳහා රුපියල් කෝටි හතළිහක මුදලක් වැය වුවත් දෛනික ආදායමෙන් ඉතිරි වන රුපියල් කෝටි එකසිය හැටක මුදල කළමනාකරණය කර ගැනීමට අපොහොසත්වීම පිළිබඳ සොයාබැලිය යුතු බවද එම අභ්‍යන්තරයේ  කථාබහක් මතුව ඇත.

ඉකුත් ජනවාරි සිට විදුලිබල මණ්ඩලයට මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබාදීම නතර කර ඇති අතර මණ්ඩලයම සිය ආදායම් වියදම් කළමනාකරණය කරගත යුතු වුවත් නොකර සිදුවන අලාභය ලක්‍ෂ හැත්තෑ එකක පාරිභෝගිකයන් මත පැටවීම  සිදුව ඇත.
 (ඡායාරූප-මස්කෙළිය ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක)