embilipitiya-magestrate-fake

ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරිය යැයි පවසා වරකාපොළ පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් දෙදෙනකුගේ ඇස් වසා පලා යාමට උත්සාහ කළ කාන්තාවක සහ ඇගේ සැමියා ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වරකාපොළ මහේස්ත්‍රාත් ප්‍රබුද්ධිකා ලංකාංගනී මහත්මිය ඊයේ (19) නියෝග කළාය.මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ ඇත්තේ කොළඹ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි යුවලකි.

වරකාපොළ පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අබේරුවන්, පොලිස් කොස්තාපල් සූරිය බණ්ඩාර (85060) යන නිලධාරින් දෙදෙනා ඊයේ (19) උදේ වරකාපොළ නගරයේ රථවාහන හසුරවමින් සිටියදී කොළඹ සිට මහනුවර දෙසට ධාවනය වූ මෝටර් රථයක් නතර කරන ලෙසට එම පොලිස් නිලධාරින් දෙදෙනා සංඥා කර ඇත.

පසුව මෝටර් රථයේ රියදුරා වාහනය මාර්ගය ආසන්නයේ නතර කර ඇති අතර ඒ අසලට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනා රියදුරුගෙන් රියදුරු බලපත්‍රය ඇතුළු වාහනයේ ලියකියවිලි පරීක්ෂා කිරීමට ඉල්ලා ඇත.

එම අවස්ථාවේදී රියැදුරා ලියකියවිලි කිසිවක් ඉදිරිපත්නොකර අල්ලපු අසුනේ සිටින්නේ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරිය බව පොලිස් නිලධාරින් දෙදෙනාට දන්වා ඇත. පසුව පොලිස් නිලධාරින් දෙදෙනා මහේස්ත්‍රාත්වරිය යැයි කියන කාන්තාව සිටි අසුන අසලට ගොස් “මැඩම් කරුණාකරලා හැඳුණුම්පත ලබා දෙන ලෙස" ඉල්ලීමක් කර ඇති අතර ඇය හැඳුනුම්පත ඉදිරිපත් නොකර කියා ඇත්තේ තමන් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරිය බවය.

පසුව පොලිස් නිලධාරින් දෙදෙනාට යුවල ගැන සැක සිතී එම යුවළද සමග මෝටර් රථය වරකාපොළ පොලිසියට රැගෙන ගොස් පරීක්ෂා කර ඇත.

එහිදී පොලිසිය ඇඹිලිපිටිය  මහේස්ත්‍රාත්වරියගේ ආරක්ෂක නිලධාරියාට දුරකතන ඇමතුමක් ගෙන විමසා ඇති අතර ඔහු කියා ඇත්තේ මහේස්ත්‍රාත්වරිය අධිකරණයේ රාජකාරි කරමින් සිටින බවය. මේ කියන කාන්තාව කියා ඇත්තේ බොරුවක් බවද ඔහු පවසා ඇත. පසුව යුවළ සැකපිට අත්අඩංගුවට ගෙන වරකාපොළ තුල්ගිරිය මහේස්ත්‍රාත් ප්‍රබුද්ධිකා ලංකාංගනී මහත්මිය වෙත ඊයේ (19) සවස ඉදිරිපත් කිරීමෙන් පසුව ඔක්තෝබර් 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.


චමින්ද වැවතැන්න