epf-etf-government


සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල එකට එකතු කර ස්වාධීන මණ්ඩලයක් යටතේ එම වැඩකටයුතු කරගෙන යෑමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.



සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ඊයේ (04දා) පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.



මේ අතර ඉරාන් ක්‍රමරත්න මහතා සඳහන් කළ ආකාරයෙන් ස්වාධීන නඩු පැවරීමේ කාර්යාලය පිහිටුවීම ගැනද සාකච්ඡා කිරීමට හැකි බවත්, මෙම කාරණා දෙක පිළිබඳ එකඟතාවකට පැමිණිය හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න -

ජනාධිපතිතුමා කිව්වා එකට වැඩ කරන්න අපට යෝජනා ඉදිරිපත් කරන්න කියලා. ලංකාවේ මූල්‍ය තත්ත්වය නිර්ණය කිරීමේ වාර්තාවත් ඇවිල්ලා තියෙනවා. ඒවගේ සමහර ඒවා කඩිනම් කරන්න පුළුවන් නම් හොඳයි. එකක් තමයි ඊ.පී.එෆ්. එකේ ස්වාධීන කළමනාකාරීත්වය. ඒකේ යබැදියා ගැටුමක් තිබෙනවා. ඒක ඉක්මන් කරන්න පුළුවන් නම් හොඳයි. මොකද ඒක රටේ සියලුදෙනාටම බලපානවා. දෙවැනි කාරණය තමයි අපට අවශ්‍යයි ස්වාධීන නඩු පැවත්මේ කාර්යාලයක්. මොකද මේක නීතිපති දෙපාර්තමේන්තුව කරන්නේ. ඒකේ ප්‍රතිඵල හොඳ නෑ. ප්‍රශ්න ආවම කාටවත් නඩු දාලා දඬුවමක් දීලා නෑ. ඒ නිසා ස්වාධීන නඩු පැවරීමේ කාර්යාලයක් පිහිටුවන්න පුළුවන් නම් විශ්වාසය ගොඩනැගෙයි. ආයෝජකයන් මේ රටට එන්න නම් විශ්වාසය ගොඩනැගෙන්න ඕන.  



ජනාධිපති රනිල් වික්‍රමසිංහ -

අපි බලාපොරොත්තු වෙන්නේ අර්ථසාධක අරමුදලත්, භාරකාර අරමුදලත් එකට එකතු කරලා ස්වාධීන මණ්ඩලයක් යටතේ ඒ වැඩ කටයුතු ගෙනියන්න. කැමති නම් මන්ත්‍රීතුමාටත් සජබයේ ඉන්න අනිත් අයටත් එකතු වෙන්න පුළුවන් මේ ගැන සියඹලාපිටිය ඇමතිතුමා සමග සාකච්ඡා කරන්න. ඒ ගැන කිසිදු ගැටලුවක් නෑ. අපට අවශ්‍ය ඊ.පී.එෆ්. සහ ඊ.ටී.එෆ් කියන දෙකම එකට එකතු කරන්න. අපට මේ ගැන සාකච්ඡා කරන්න පුළුවන්. මේක කරන්න ඕන. මේක තමයි ශ්‍රී ලංකාවේ තියෙන බලවත්ම අරමුදල. ඒ වගේම මේ කරුණු දෙක ගැනම අපි කතා කරන්න එකඟයි. ආණ්ඩුව සමග කතා කරන්න පුළුවන් දෙවැනි කාරණයත්. දැනටත් නීතිපති දෙපාර්තමේන්තුවට වැඩි බරක් තියෙන්නේ. මේ ගැන සාකච්ඡා කරන්න පුළුවන් වගේම අපට එකඟත්වයට එන්න පුළුවන්.

-දිනේෂ් සමරකෝන්