etha-bendiwewa-dilrukshi

ටෙඩි බෙයාර්ට නම් මේ ගැන දැනෙන්නේ නැතුවා ඇත. සීතල වූ දිල්රුක්ෂිගේ නිසල දේහයේ දෙපා ළඟ සැපට නිදන ‘WINNIE THE POOH ‘ටෙඩි, දිල්රුක්ෂි යළි නොඑන ගමන් ගොස් ඇති බව දැනෙන්නේ නැත. සියල්ල දන්නා කෙනකු මෙන් ටෙඩි බෙයාර්, දිල්රුක්ෂිගේ නිසල දේහයේ බහා ඇති පෙට්ටියේ මුල්ලකට වී සිටින්නේ දුටුවන්ගේ නෙතට කඳුළක් එක් කරමිනි.

කාන්තා පොලිස් කොස්තාපල්වරියක වූ චන්දිමා දිල්රුක්ෂි මෙනවිය පේදුරුතුඩුව පොලිසියේ සේවයේ නියුතුව සිටි අතර පසුගිය 09 වැනිදා ඇය නිවාඩු ලබා තලකිරියාගම ඇතාබැඳිවැව තම නිවෙසට ආවේ නිවැසියන් සමඟ සතුටින් තම නිවාඩුව ගත කිරීමේ බලාපොරොත්තු වෙනි.

එන අතරමගදී, තම සොයුරාගේ දරුවන්ට තැගි ගෙන එන්නට වේලාවක් නොවූ නිසා ඔවුන්ට සෙල්ලම් බඩු මිලදී ගන්නටත් ගෙදරට අවශ්‍ය කළමනා මිලදී ගන්නටත් සිතා ඇය 10 වැනිදා දඹුල්ල නගරයට යෑමට සිය ස්කූටියේ නැගගත්තේ යළිත් නොඑන ගමන් යන්නටම යැයි කිසිවකු සිතුවේ නැත.



කිරිල්ලියකසේ නිදහසේ තම යතුරු පැදියෙන් එන දිල්රුක්ෂි ගලේවෙල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ තලකිරියාගම ප්‍රදේශයේදී ටිපර් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් බරපතළ තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කරන්නේ පසුගිය 10 වැනිදා උදෑසනය.නිවාඩුවට ගෙදර ආ ඇය යළිත් කිසිදා ගෙදර නොඑන්නට සැම දෙනාටම සමුදෙමින් දිවි ගමන නිමා කරන්නේ පසුගිය 11 වැනිදා අලුයම් කාලයේදී නෑ සිය මිතුරන්ගේ සෝ සුසුම් මැදය.

පේදුරුතුඩුව පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කාන්තා පොලිස් කොස්තාපල්වරියක වන චන්දිමා දිල්රුක්ෂි (25) මෙනවිය වසර තුනකට ආසන්න කාලයක් පොලිස් සේවාවේ නිරතව සිටි දක්ෂ පොලිස් කොස්තාපල්වරියක්ද වූවාය. තලකිරියාගම ඇතාබැඳිවැව ප්‍රදේශවාසීන්ගේ නොමඳ ආදරය දිනා සිටි ඇය පවුලේ මිනිපහණක්ම විය.

ඇයගේ නිසල දේහය අසල වැළපෙන දිල්රුක්ෂිගේ ආදරණීය මව ,සිය දියණිය ඉතාමත් ආදරය කළ සුරතල් ටෙඩි බෙයා ඇයගේ පෙට්ටිය මත තබන්නැයි කළ ඉල්ලීම් සැමගේ හද කම්පා කරවන්නක් විය . දේහය භූමදානය කරන අවස්ථාවේදී ද මවුපියන්ගේ කැමැත්ත මත ඇය ආදරය කළ ටෙඩි බෙයා ද සමඟ භූමදානය කිරීම සිදු කෙරුණේ කුඩා ළමුන්ගේ මෙන්ම වැඩිහිටි සැමගේ නෙතග කඳුළින් බර කරමිනි.



දඹුල්ල සහකාර පොලිස් අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් විශාල පොලිස් නිලධාරීන් පිරිසකගේ ආචාර පෙළපාලියකින් ඊයේ ( 13 ) පස්වරුවේ පොදු සුසාන භූමිය වෙත රැගෙන ගිය ඇයගේ දේහය පූර්ණ පොලිස් ගෞරව සහිතව සිදු කෙරිණි.

විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර කුඩා ළමුන් පොලිස් නිලධාරීන්ගේ ආචාර පෙළපාලි යටින් මෙම දසුන් නරඹමින් කම්පිතව බලා සිටියේ යළිත් පොලිසි නිලඇඳුමින් හෝ ස්කූටියේ නැගී ඇතා බැඳිවැව පාරේ යන දිල්රුක්ෂි නැන්දා නොඑන බව දැනගෙනම වාගේය. දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ සිටි කාන්තා පොලිස් නිලධාරීන් ඇයගේ මව තබන විළාපය දරාගත නොහැකිව හඬා වැටෙමින් සිටියේ කාකි නිල ඇඳුම දැරුවද තමන්ද සංවේදී වන බව පසක් කරමිනි. ආචාර පෙළපාලියේ රැඳී සිටින පොලිස් නිල දරුවන් බොහෝ දෙනා දෙනෙත් පිසදමමින් ගමන් ගන්නා ආකාරය දැඩි සංවේගය දනවන දසුනක් වූයේය.

වයස අවුරුදු 25 ක් වූ ඇය වසර තුනකට ආසන්න කාලයක් පොලිස් සේවාවේ නිරතව සිටි දක්ෂ පොලිස් කොස්තාපල්වරියක් බව පොලිස් මූලස්ථානය නිකුත් කර තිබූ ශෝක නිවේදනයේ සටහන්කොට තිබිණි.

දඹුල්ල කංචන ආරියදාස