expressway-slip

ඉතා විශාල ලෙස නායයාමට ලක් වූ දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව හා ඉමදූව අතර 102වැනි කිලෝමීටරයේ කඳුවැටිය නැවත වතාවක් නාය යාමට ඇත්තේ, ඉතා අඩු අවස්ථාවක් බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන මහතා පවසයි.

කෙසේ වුවද, යම්කිසි අවදානමක් තිබෙන නිසා එක් මංතීරුවක පස් ඉවත්කොට කඳුවැටියේ නාය යාම සක්‍රීයවේද නැද්ද යන්න සොයා බැලීමට කටයුතු කරන බවද හෙතෙම පවසයි.

මෙම කදුවැටිය අවස්ථා දෙකකදී නාය යාමට ලක්ව ඇති බවත්, පළමුවැනි නාය යාමේදී දකුණු මංතීරුව සම්පූර්ණයෙන් යට වී ඇති අතර, දෙවැනි නාය යාමේදී මංතීරු හතරම සම්පූර්ණයෙන් පස්වලින් යට වී ඇති බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කළේය.



ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන මහතා සහ මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් එල්.වී.එස්. වීරකොන් මහතා පෙරේදා (11දා) රාත්‍රියේම කඳුගැටය නාය යාමට ලක් වූ ස්ථානයට පැමිණ නිරීක්‍ෂණ කරනු ලැබීය.

එසේම ඊයේ රාත්‍රියේම එක් මංතීරුවක පස් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කළ අතර, මේ පිළිබඳ තවදුරටත් අදහස් දක්වමින් ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙසේ පවසා සිටියේය.

"අධික වර්ෂාවත් සමග පෙරේදා (11දා) රාත්‍රී 8.30ට පමණ මීටර් 75ක් 100ක් අතර ප්‍රමාණයක් පස්වලින් වැහිලා තියෙනවා. මෙම ස්ථානය මීට පෙරත් නාය යාමේ සලකුණු ඇති වූ ප්‍රදේශයක්. නැවත කන්ද නාය යාමේ අවස්ථාව තියෙන්නේ, ඉතා අඩු ප්‍රමාණයක්. ඒ නිසා අපි තීරණය කළා මාර්ගයේ එක් මංතීරුවක පස් ඉවත් කරන්න. යම්කිසි අවදානමක් තිබෙන නිසා එක් මංතීරුවක් විවෘත කරලා බලනවා තවත් නාය යාම සක්‍රීයවේද නැද්ද කියලා. අද උදේ නැවත වතාවක් මෙම ස්ථානය නිරීක්‍ෂණය කරලා සම්පූර්ණ වාර්තාවක් ලබාදීමට කටයුතු කරනවා.

දැනට තිබෙන තත්ත්වය අනුව පස් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කරන්න පුළුවන්. පස් ඉවත් කිරීමේ කටයුතු දැඩි සුපරික්‍ෂාකාරී තත්ත්වයක් යටතේ සිදුකරන්න ඕන. තවමත් වතුරපාර එන මට්ටමක් තියෙනවා. දියර ස්වභාවයත් එක්ක. හැකි ඉක්මනින් මාර්ගය විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා.



මෙම ස්ථානයේ නාය යාමක් එක්ක මෙම ප්‍රදේශයේ තියෙන අස්ථාවරභාවය ස්ථාවර කිරීමට ව්‍යාපෘතියක් මාර්ග සංවර්ධන අධිකාරියත් එක්ක ආරම්භ කිරීමට කටයුතු කරලා මාර්ගය භාවිත කරන ජනතාවගේ සුරක්‍ෂිතභාවය තහවුරු කිරීමට කටයුතු කරනවා. නාය යාම අවස්ථා දෙකකදී සිදුවෙලා තියෙනවා, පළමුවැනි නාය යාමේදී දකුණු මංතීරුව තමයි යට වෙලා තියෙන්නේ, දෙවැනි වතාවට ඇවිත් තමයි සම්පූර්ණ මංතීරු හතරම යට වෙලා තියෙන්නේ. මීට කලින්ද මෙම කඳුවැටියට එහා ප්‍රදේශයක බැවුමේ යම්කිසි ඉරිතැළීමක් වාර්තාවෙලා තියෙනවා. එම ඉරිතැළීමත් එක්ක මාර්ග සංවර්ධන අධිකාරිය අවශ්‍ය කෙටිකාලීන විසඳුම් අරගෙන තියෙනවා. ස්ථානීය පරීක්‍ෂණයක් කරලා අවශ්‍ය දීර්ඝ කාලීන විසදුම් ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා.”

මේ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් එල්.වී.එස්. වීරකෝන් මහතා වසා සිටියේ,

"මීටර් 150ක් දුරට නාය යාම සිදුවෙලා තියෙනවා හැකි ඉක්මනින් මාර්ගයට වැටී ඇති පස් හා ගස් ඉවත් කරලා මාර්ගයේ ගමනාගමන කටයුතුවලට අවස්ථාව ලබාදෙන්න කටයුතු කරනවා. දැනට කොළඹ බලා එන අය පින්නදූවෙන් පිටවෙලා ඉමදූව පිවිසුමෙන් නැවත අධිවේගී මාර්ගයට ඇතුළුවෙන්න පුළුවන්. ගාල්ල, දෙනියාය මාර්ගයේ ගමන් කරලා නැවත ඉමදූවෙන් අධිවේගී මාර්ගයට ඇතුළු වෙන්න පුළුවන්” යනුවෙනි.

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ නාය යාම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පැමිණි දක්‍ෂිණ අධිවේගී මාර්ගයට අනියුක්තව රාජකාරී කරන පොලිස් විශේෂ කාර්ය බළකායේ හත්දෙනෙක් පසුව සිදුවූ පස් කදු නාය යෑමකට හසුව තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇත. මෙහිදී තුවාල ලැබූ සැරයන්වරයාගේ තත්ත්වය බරපතළ බවට වාර්තා වේ.

මීට අමතරව නාය යන අවස්ථාවේදී අධිවේගී මාර්ගයේ ගමන්ගත් මෝටර් රථයක් අනතුරට ලක්වුවද, එහි ගමන් ගත් පිරිසට කිසිදු අනතුරක් සිදුව නොමැත.

හිනිදුම - රවීන්ද්‍ර ශ්‍රීලාල්