මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ ඉන්ෂුවරන්ස් ආයතනයක ගිණුම් ප්‍රධානියකු ලෙස සේවය කළ ස්වර්ණ ගමගේ අරුණ කීර්ති (54) නමැති සැකකරුවකි.
කූට ලේඛන සකස් කළ දිනයේදී සැකකරු සහ සැකකාර ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරිය වට්ස්ඇප් මඟින් මිනිත්තු 20ක් කතා කර ඇති බවට විමර්ශන මඟින් අනාවරණය වූ බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
අදාළ සිද්ධියේ නඩු ගොනුව සැකකාර රෙජිස්ට්‍රාර්වරිය සැකකරුට ලබා දෙන දිනයේ සැකකරු සමඟ දුරකතනයෙන් සවස 3.53 සිට 4.33 දක්වා මිනිත්තු 40ක් කතා කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පයාගල මහතා කියා සිටි අතර එදිනම ඇමතුම් 9ක් සැකකරුට ලබා දී ඇතැයි ද කියා සිටියේය.
අදාළ සැකකරු සමඟ සැකකාර ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරිය විසින් අවස්ථා ගණනාවකදීම දුරකතන මාර්ගයෙන් සම්බන්ධ වී ඇති බවට දුරකතන දත්ත පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇති බවත් අභියාචනාධිකරණයට යොමු කිරීමට නියෝග නිකුත් කර තිබූ නඩු ගොනුව අභියාචනාධිකරණයට යොමු කර නැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.
සැකකාර ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරිය එම නඩු ගොනුව අස්ථානගතව ඇති බවට දන්වමින් අධිකරණ භූමියෙන් පිටතට ගෙන ගොස් සැකකරුට ලබා දීලා. සැකකරුට අවස්ථා ගණනාවකදී දුරකතන ඇමැතුම් 73ක් ලබා දීලා ඔක්තෝබර් මස 10 වැනිදා සැකකරුට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කළ බවට වන ව්‍යාජ ලිපිය ආගමන විගමන පාලකවරයාට සහ සැකකරුට යොමු කරලා. අස්ථානගත වූ නඩු ගොනුව සැකකරුට රෙජිස්ට්‍රාර්වරිය ගෙන ගොස් භාර දීලා යැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට දන්වා සිටියේය. මුදල් වංචා කිරීමකට අදාළව වංචා විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවකුට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කරමින් ආගමන විගමන පාලකවරයාට අත්තනෝමතික ලෙස ලිපියක් යොමු කිරීම සහ අදාළ නඩු ගොනුව අස්ථානගත කිරීම සැකකාරිය විසින් සිදු කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.
සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට ඇති ඉඩකඩ සලකා බලා සැකකරු ලබන 25 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ජීවිතාරක්ෂණ සමාගමකින් රුපියල් ලක්ෂ 30කට අධික මුදලක් ව්‍යාජ ලේඛන සකසා වංචා කිරීම හේතුවෙන් වංචා විමර්ශන කාර්යාංශය අත්අඩංගුවට ගත් පුද්ගලයාට එල්ලවූ චෝදනා 8න් 7කට වරදකරු කරමින් කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් පසුගිය පෙබරවාරි මස 15 වැනිදා සිරදඬුවම් පමුණුවා ඇති අතර එදිනම අභියාචනාධිකරණය හමුවේ ඇපෑලක් යොමු කරමින් අදාළ සැකකරු ඇප ලබාගෙන තිබිණි.
සැකකරුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී එහි නිලධාරියකු විසින් පහරදී ඇති බවත් සැකකරුගේ වම් කම්මුලට පහර 7ක් ගසා ඇති බවත් ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා ඇතුළු නීතිඥ මඬුල්ල අධිකරණයට දන්වා සිටියේය.
සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන්නේ නම් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට ඉදිරිපත් කරන්න යැයි නීතිඥ මඬුල්ල අධිකරණයෙන් සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට ඉදිරිපත් කරන ලෙසත් ලබන 25 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් නියෝග කළේය.
සැකකරුට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කරමින් ආගමන විගමන පාලකවරයාට අත්තනෝමතික ලෙස ලිපියක් යොමු කිරීම සහ අදාළ නඩු ගොනුව අස්ථානගත කරමින් කූට ලේඛනයක් සකස් කිරීමටට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පසුගියදා (14) අත්අඩංගුවට ගත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරිය ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
0 Comments