යුද හමුදාවේ කෘෂිකර්ම හා පශුසම්පත් බළකායට අයත් ගාල්ල කරන්දෙණිය කොහිලගෙදර යුද හමුදා කඳවුරේ අවි ගබඩාවේ තිබියදී සොරාගත් ටී 56 ගිනි අවිය එම කඳවුරේ රාජකාරි කරමින් සිටි සාජන් මේජර්වරයකුගේ ගෙවත්තේ සඟවා තිබියදී යුද හමුදා පොලිසියේ විශේෂ විමර්ශන අංශය විසින් සොයාගනු ලැබූ බව යුද හමුදාව පවසයි.මෙම සිද්ධිය සම්බන්ධයෙන් අවි ගබඩාවේ පාලක වශයෙන් කටයුතු කළ සැකකාර සාජන් මේජර්වරයා 10 දා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී හෙළි වූ තොරතුරු අනුව ගිනි අවිය බටපොළ කුරක්කන්දූව උඩුවල ගෙවත්තේ පැරැණි ගස් බෙනයක සඟවා තිබියදී සොයාගෙන ඇත.
සැකකාර සාජන් මේජර්වරයා තිස්නව හැවිරිදි අයකු බවත් ඔහු වසර 21 ක යුද හමුදා සේවා කාලයක් ඇති පුද්ගලයකු බවත් යුද හමුදාව කියයි.සැකකරු ඉකුත් 4 වැනිදා රාත්‍රියේ රාජකාරියේ යෙදී සිට එදින රාත්‍රියේ අවි ගබඩාවට මුද්‍රා තැබීමට ගොස් සිටියදී එහි තිබූ මෙම අවිය සොරාගෙන අසල කැලයකට විසිකර ඇති බව පොලිසිය පවසයි. පසුදින (05) පෙරවරුවේ ඔහු එය බෑගයක දමාගෙන සිය නිවසට රැගෙන ගොස් ඇති බවට සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළි වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
ගිනි අවිය අතුරුදන්වීම සම්බන්ධයෙන් කඳවුරේ ලුතිනන් ඩී.යූ. මලලගේ මහතා කරන්දෙණිය පොලිසියට හා යුද හමුදා පොලිසියට ඉකුත් 8 වැනිදා පැමිණිලි කර ඇත. එම දැනුම් දීම මත යුද හමුදා පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. එම ගිනි අවිය අපරාධ සඳහා භාවිත කර ඇති ද යන්න හෙළි කර ගැනීම සඳහා ද විමර්ශන ආරම්භ කර ඇත. සැකකරු හා ගිනි අවිය යුද හමුදා විශේෂ විමර්ශන ඒකකය විසින් කරන්දෙණිය පොලිසියට බාර දෙනු ලැබ ඇත. සැකකරු බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව 13 වනදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කෙරිණි.
ඉන්දිකා රාමනායක
0 Comments