ganemulla-sanjeewa-request

තමන්ගේ ජීවිතයට තර්ජනයක් විය හැකි බැවින් විමර්ශන කටයුතු සදහා පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් විසිදෙනෙකු යටතට තමා පත් නොකරන්නැයි ඉල්ලමින් ගනේමුල්ල අභියාචනාධිකරණයට පෙත්සමක් සංජීව ඉදිරිපත් කළේය.

මේ වන විට වීරඟුල පොලිස්ථානයේ රඳවා සිටින සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ල සංජීව නමැත්තාගේ මව ජනාධිපති නීතිඥ පාලිත ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත නීතිඥ දිනේෂ් ගොඩගම මහතා මගින් රිට් ආඥාවක් ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළාය.



ගනේමුල්ල සංජීවගේ මව වන ගනේමුල්ල මාකිලංගමුවේ පදිංචි එලන්නෝනා මැන්ඩිස් මහත්මිය ඉදිරිපත් කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් වීරඟුල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයකොඩි මහතා, ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. කේ. අයි. ඩී. සිල්වා මහතා, කැලණිය විශේෂ අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරුන් වන රෝෂාන් පීරිස් මහතා, ධර්මකීර්ති මහතා, දොළමුල්ල මහතා, ජයසේකර මහතා, ප්‍රදීප් මහතා, පතිරාජසුරිය මහතා, කැලණිය පොලිස් අධිකාරී පුෂ්පකුමාර මහතා,

බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා, පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා, එහි සහකාර පොලිස් අධිකාරීවරුන් වන සේනාධීර මහතා, සාගර මහතා, ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නදීක ද සිල්වා මහතා, පොලිස් පරීක්‍ෂකවරුන් වන ප්‍රේමලාල් මහතා, ජයලත් මහතා, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතා, ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ආර්. පී. අල්විස් මහතා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා සහ පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා නම් කොට ඇත.

පොලිස් අත්අඩංගුවට පත් තම පුතා වන සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ල සංජීව රැඳවුම් නියෝග යටතේ මේ වන විට වීරඟුල පොලිස්ථානයේ රඳවාගෙන ප්‍රශ්න කරන බව පවසන ඔහුගේ මව වන එලන්නෝනා මැන්ඩිස් මහත්මිය ඉහත සඳහන් නිලධාරීන් යටතේ විමර්ශන කිරීමෙන් තම පුතාගේ ජීවිතයට තර්ජනයක් වීමේ හැකියාව ඇතැයිද සදහන් කරයි.

එහෙයින් අදාළ නිලධාරීන් හෝ ඔවුන් යටතේ සිටින වෙනත් නිලධාරීන් හැර වෙනත් පොලිස් නිලධාරීන් යටතේ තම පුතාට එරෙහි විමර්ශන කිරීමට නියම කරන්නැයි ඉල්ලා සිටින ගනේමුල්ල සංජීවගේ මව මෙම පෙත්සම විභාග කිරීමට නියම කරන්නැයිද ඉල්ලා සිටියි.

-  බුද්ධිමාල් රුබේරු