ganemulla-sanjeewa-weapons

රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ගණේමුල්ල සංජීව විසින් ලබාදුන් ප්‍රකාශ මත, පිස්තෝල ගිනිඅවි දෙකක් හා මැගසින් තුනක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.



මුල්ලේරියාව පොලිස් වසමේ කුමාර මාවත ප්‍රදේශයේ කැලෑ ප්‍රදේශයක සඟවා තිබියදී මෙම පිස්තෝල අවි හා මැගසින් සොයාගෙන තිබෙන අතර, මේ අනුව විදේශ රටක නිෂ්පාදිත යැයි සැලකෙන මයික්‍රො වර්ගයේ පිස්තෝල ගිනිඅව්යක් සමග මැගසින් දෙකක හා මැගසිනය සවිකර තිබූ පිසිතෝල අවියක් අත්අඩංගුවට ගෙන තිබේ.



පසුගිය වසරේ ජුනි 26වන දින පෑලියගොඩ දුම්රියපොළ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමටත්, මේ වසරේ ජනවාරි 17වන දින පෑලියගොඩ කළු පාලම අසලදී තවත් අයෙකු වෙඩි තබා ඝාතනය කිරීමටත් අදාළව මෙම ගිනිඅවි යොදාගෙන ඇති බවට අනාවරණය වී තිබෙන බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

දින 90ක රැඳවුම් නියෝග මත බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මගින් සැකකරු රඳවා තබාගෙන ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුවන අතර, තවදුරටත් විමර්ශන සිදුකරන බවද පෙන්වා දෙයි.

ගණේමුල්ල සංජීව නමැත්තාගෙන් සිදුකළ ප්‍රකාශ සටහන් කර ගැනීම්වලට අනුව මීට පෙර අවස්ථා දෙකකදී ජීව අත්බෝම්බ දෙකක්, මයික්‍රො වර්ගයේ පිස්තෝලයක්, රිවෝල්වරයක්, ටී පනස්හය ගිනිඅවිවලට යොදා උණ්ඩ හතළිස් තුනක් සොයාගනු ලැබිණ. මීට අමතරව ටී 56 ස්වයංක්‍රීය ගිනිඅවියක් සහ ජීව උණ්ඩ තොගයක්ද උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාර්න් කණ්ඩායමක් විසින් සොයාගෙන තිබේ.

-ඉන්දික හේවාවිතාරණ