garment-sequrity-fraud-fake

ඇඟළුම් කර්මාන්ත ශාලාවක සිට තවත් ස්ථානයකට භාණ්ඩ තොගයක් පැටවීමට අවශ්‍ය බව පවසමින් කුලී රථ සේවාවන් ඇණවුම් කර රංගනයක නිරතවී එම රියදුරන් කොල්ලකා රහසේම පලායන ජාවාරම් කරුවෙක් මොරටුව පොලිසිය අල්ලාගෙන තිබේ.
මෙම පුද්ගලයාගේ උපක්‍රමයට කෙනෙකු පහසුවෙන් ගොදුරුවන සුලුය. ජංගම දුරකථන ඇප් එකක් ඔස්සේ ඔහු කුලී රථ ඇණවුම් කර රියදුරුට දන්වා සිටින්නේ ‘මට ලොකු හයර් එකක් කරගන්න තියනවා. ඉස්සෙල්ලා යන්න ඕන ගාමන්ට් එකකට පස්සෙ එතැන තියන ගාමන්ට් අයිටම් ගොඩක් වෙනත් තැනකට ගෙනියන්න තියනවා.
බඩු ගොඩක් තියනවා.මේක ලොකු හයර් එකක් නිසා මං වැඩිපුරත් එක්ක ඔයාට ගෙවනවා..‘ ලෙසිනි.


ඉතා ප්‍රියමනාප ලෙස අලුත් ඇඳුම් ඇඳ පැළඳ ‘සේල්ස් ඔෆිසර්‘ කෙනෙකු ලෙස හැසිරෙන ඔහු රියදුරු සමග කථාබහක් ඇතිකරගෙන මුලින්ම ගාමන්ට් එකක් ඉදිරියට යන බව කියැවේ. අනතුරුව ඔහු ‘ටිකක් ඉන්න අපේ වාහනේ ඇතුළට ගන්න කලින් අවසර ගන්න තියනවා. මං කථාකරගෙන එන්නම්‘ යයි රියදුරුට කියා ගාමන්ට් එකේ සිකියුරිටි රූම් එක වෙත ගොස් කතාබහක නියැළෙන්නේ රියදුරුටද පෙනෙන ලෙසිනි.
අනතුරුව වාහනය වෙත පැමිණෙන ඔහු ‘හරි වාහනේ ගන්න පුළුවන්. ඒත් ඇතුල් කරන්න කිව්වෙ පස්සෙ දොරින් අපි අයිනෙ පාරෙ ගිහින් ඇතුළෙ පාක්කරගමු..“ කියා රියදුරුව කැටුව යන ඔහු අතරමගදී ‘ආ සිකියුරිටි එකින් කිව්වා ෆොන්, පර්ස්, ඒ.ටී.එම්. කාඩ් ඔක්කොම ආරක්ෂක මුර කුටියේ තියල පාස් එකක් ගන්න ඕන කියල‘ ඔයාගෙ ඒ දේවල් ටික මට දෙන්න. පස්සෙ දොරින් ගිහින් වාහනේ පාක්කරගන්න අතරෙ මං මේවා සිකියුරිටිට දීලා පාස් එකඅරං එන්නම්‘ කියන්නේය.


මේ බසට රැවටෙන රියදුරු තමන් සතු වටිනා කියන දේවල් මෙම නාඳුනන පුද්ගලයා අත තබන අතර රියදුරු මංමුලා කර ඔහු පැනගන්නේය.
මේ ආකාරයට අවස්ථා ගණනාවකදීම රියදුරන්ගේ වටිනා දේවල් කොල්ල කා ඇති මෙම පුද්ගලයා කොටු කරගන්නට පොලිසිය උත්සාහ දැරූවත් ලෙහෙසි වී නැත. ඔහු වාහන ඇණවුම් කළ ඇප් එක ඔස්සේ තොරතුරු සොයද්දී එම ආයතන වලින් පවසා ඇත්තේ වෙනත් අයගේ නම්ය.

එම නම් තිබෙන පුද්ගලයින් සොයා ගිය විට ඔවුන් පවසා ඇත්තේ තමන්ගේ ෆොන් එකත් මෙම පුද්ගලයා සොරකම් කර එම ඇප් එක පාවිච්චි කර තමන්ගේ නමින් සොරකමේ ගොස් ඇති බවයි. මේ හේතුවෙන් සැකකරු කොටු කරගන්නට ගැටලුවකට මුහුණ පෑ පොලිසිය සීසීටීවී සාක්ෂි ඇතුළු තොරතුරු ගණනාවක් පිරික්සා සැකකරු කොල්ලකෑ ජංගම දුරකථන දහයක් සමග 25 වැනිදා අත්අඩංගුවට ගත් බව මොරටුව, අඟුලාන පොලිසිය පැවසීය.වයස අවුරුදු තිස් දෙකක් වන මෙම සැකකරු මුහුදු බඩ පාර රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


 තවත් ජංගම දුරකථන 5 ක් විවිධ පුද්ගලයන්ට විකුණා තිබූ  සැකකරු සොරාගන්නා ලද ජංගම දුරකථනයක්ම භාවිතා කරමින් කුලී රථ සේවා ඇණවුම් කර ඒවා විවිධ ප්‍රදේශවලට රැගෙන යන බව කියමින් පෙර කී උපක්‍රමය භාවිතයෙන් කොල්ල කා ඇතැයි වාර්තා විය.

සැකකරුගේ ජාවාරම සීදූව, කටුනායක වෙළෙඳ කලාපය, කළුතර, හොරණ ඇතුළු ප්‍රදේශවල ප්‍රධාන පෙළේ ඇඟලුම් කර්මාන්තශාලා භාවිතකරමින් සිදු කර ඇති අතර රියදුරන් අදාළ ආරක්ෂක අංශ විමසද්දී එවන් කෙනෙකු ගැන දන්නේ නැතැයිද ගාමන්ට් අරින වහන වෙලාව අසමින් කථාකරන්න පමණක් ආ බවද පවසා ඇත.

සැකකරු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.