gaza-war-explains

පලස්තීනයට අයත් ගාසා තීරයේ ක්‍රියාත්මක හමාස් සංවිධානයේ සටන්කරුවන් විසින් ඊශ්‍රායලයේ දකුණුදිග ප්‍රදේශය ඉලක්ක කරගනිමින් එල්ල කළ අනපේක්ෂිත ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය සහ ගාසා තීරය අතර ඇතිව තිබෙන ගැටුම්කාරී තත්ත්වය ඊයේ (09දා) දිනය වනවිට තවදුරටත් දරුණු අතට පත්ව තිබුණි.

මෙම ගැටුම් හේතුවෙන් මෙම සටහන ලියැවෙන මොහොත වනවිට ආරක්ෂක අංශ සාමාජිකයන්ද ඇතුළුව ඊශ්‍රායලයේ යුදෙව් ජාතිකයෝ 800කට අධික පිරිසක්ද, හමාස් සටන්කරුවන්ද ඇතුළුව ගාසා තීරයේ වෙසෙත පලස්තීන ජාතිකයෝ 500කට ආසන්න පිරිසක්ද මරණයට පත්ව සිටියහ. එසේම දෙරටේම 5,000කට අධික පිරිසක්ද මෙම ගැටුම් නිසා තුවාල ලබා තිබේ.

මේ අතර පෙරේදා රාත්‍රියේදී හමාස් සටන්කරුවන්ගෙන් ඊශ්‍රායලය වෙත එල්ල වූ රොකට් ප්‍රහාර බොහෝමයක් විනාශ කර දැමීමට ඊශ්‍රායලයේ අයත් ඩ්‍රෝමි මිසයිල ආරක්ෂක පද්ධතියට හැකිවිය. එහෙත් ඊශ්‍රායලයේ දැඩි ගුවන් ප්‍රහාර හේතුවෙන් පලස්තීනයේ ගොඩනැගිලි රැසක්ම විනාශ වී ගොස් තිබේ. මේ අතර පෙරේදා රාත්‍රියේදී ඊශ්‍රායලය ගාසා තීරය වෙත ජාත්‍යන්තරව තහනම් කෙරි ඇති සුදු සල්ෆර් අඩංගු රසායනික අවි ප්‍රහාරයක් එල්ල කළ බවටද චෝදනා එල්ල වී තිබේ.

මෙලෙස හමාස් සටන්කරුවන් විසින් ගුවනින්, ගොඩබිමින් සහ සාගරයෙන් එල්ල කළ අනපේක්ෂිත ප්‍රහාරය නිසා යළිත් වටයකට ඊශ්‍රායලයේ යුදෙව්වන් සහ පලස්තීනුවන් අතර ගැටුම් මතු වී තිබුණද, මෙම දෙපාර්ශ්වය අතර පවතින ගැටුම් අදින් සියවස් ගණනක් පමණ ඈතට දිවයන්නකි. එහෙත් මෑතකාලීන භූදේශපාලනික තත්ත්වයේ ගොදුරක් බවට පත්ව ඇති පලස්තීනය සහ ඊශ්‍රායලය සදාකාලික සතුරන් බවට පත්ව සිටියි.

අතීත වාර්තාවලට අනුව යුදෙව්වන් සහ පලස්තීනුවන් යන ජනවර්ග දෙකම එකම මූලයකින් පැවත එන කණ්ඩායම් දෙකකි. එහිදී ඒබ්‍රහම් නම් ඉඩම් හිමියෙකුගේ පුතුන් දෙදෙනෙක්ගෙන් මෙලෙස යුදෙව් හා පලස්තීන ජනවර්ග දෙක බෙදී යන බව සඳහන් වෙයි. මෙම දරුවන් දෙදෙනා මව්වරුන් දෙදෙනෙකුගේ බවත්, ඒ නිසා දේපළ බෙදාගැනීමේදී ඇතිවූ විරසකය මෙසේ ජන කොටස් දෙකක් ලෙස වෙන්ව යෑමට හේතුවී තිබෙන බවද මෙම වාර්තාවල පැවසෙයි.

විදෙස් මාධ්‍ය සදහන් කරන ආකාරයට හමාස් සංවිධානයේ මෙම අනපේක්ෂිත ප්‍රහාරය එල්ල වූයේ යුදෙව් දින දර්ශනයේ එන ශුද්ධ වූ යොම් කිප්පූර් දිනයේදී බව පැවසෙයි. අරාබි රාජ්‍යයත් හා ඊශ්‍රායලය අතර 1973 දී ඇති වූ යොම් කිප්පූර් නොහොත් රාමදාන් යුද්ධයේ 50 වැනි සංවත්සරයද එදිනට යෙදී තිබුණි. මෙම යොම් කිපූර් යුද්ධයෙන් ජයගත්තේ ඊශ්‍රායලයයි.

පලස්තීන රාජ්‍යයේ මුල් පදිංචිකරුවන් වන්නේ පලස්තීන අරාබිවරුන්ය. 20වැනි සියවස ආරම්භය වනවිට මෙම පලස්තීන භූමිය ඔටෝමාන්වරුන්ගේ පාලනයට යටත්ව පැවතුණි. කෙසේ වෙතත්, පළමු වැනි ලෝක යුද්ධය අවස්ථාවේදී පලස්තීනය මහා බ්‍රිතාන්‍යයේ සහ මිත්‍රපාර්ශ්වයේ රටවලට අයත් භූමියක් බවට පත්විය. එහිදී, ජෙරුසලම නගරය අල්ලා ගැනීම වඩාත් වැදගත් අවස්ථාවක් වූ අතර, එහි පාලනය බ්‍රිතාන්‍ය සතුව පැවතුණි.

මේ අතර කාලයේදීම පලස්තීන භූමියේ ඓතිහාසික උරුමයක් ඇති බවට පැවසුණු යුදෙව් ජාතිකයන් ඒ වෙත රැගෙන ඒමටද බ්‍රිතාන්‍ය පාලකයන් කටයුතු යෙදීය. 1917 දී එවකට බ්‍රිතාන්‍ය අගමැතිවරයා වූ ආතර් බැල්ෆෝර්ගේ පලස්තීනය තුළ යුදෙව් රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා ගෙන ආ බැල්ෆෝර් ප්‍රකාශනය හරහා එය සිදුවිය. එහෙත් පලස්තීන අරාබිවරු ඊට විරෝධය පළ කළහ. ඒ අනුව, පලස්තීනය තුළ පලස්තීන අරාබ්වරුන් සහ යුදෙව්වන් අතර ගැටුම් ඇතිවිය.

කෙසේ වෙතත්, දෙවැනි ලෝක යුද්ධයෙන් අනතුරුව බ්‍රිතාන්‍ය පලස්තීනය සිය පාලනයෙන් මුදා හැරීමට තීරණය කළේය. ඒ අනුව, පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස නම් කෙරුණාද, එහි යුදෙව් ජනාවාස කිහිපයක්ම ක්‍රියාත්මකව පැවතුණි. මේ අතර දෙවැනි ලෝක යුද්ධයේදී ජර්මනියේ නාසි පාලක හිට්ලර්ගේ ප්‍රධානතම සතුරන් ව යුදෙව් ජාතිකයන් යුරෝපයෙන් ඉවත්කර අතර දෙවැනි ලෝක යුද්ධයේදී ජර්මනියේ නාසි පාලක හිට්ලර්ගේ ප්‍රධානතම සතුරන් වූ යුදෙව් ජාතිකයන් යුරෝපයෙන් ඉවත්කර වෙනත් ස්ථානයක ස්ථිරවම පදිංචි කරවීමක් පිළිබඳවද බටහිර රාජ්‍යයන්ගේ අවධානය යොමුව තිබුණි.

ඒ අනුව, ඊට සුදුසුම ස්ථානය ලෙස පලස්තීනය තෝරාගැනුණු අතර, පලස්තීන අරාබිවරුන්ගේ විරෝධය නොතකා මෙම යුදෙව් ජාතිකයන් එහි පදිංචි කරවීම සිදුවිය. ඒ යටතේ 1947 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය පලස්තීනය යුදෙව් සහ අරාබි රාජ්‍යයන් ලෙස දෙකට බෙදීම ඡන්දයක් මගින් සම්මත කළේය.

එසේම, 1948 වසරේදී ඇති කරගත් සම්මුතියකට අනුව ඊශ්‍රායලය නමින් වූ යුදෙව් රාජ්‍යය පලස්තීන භූමිය තුළ බිහි කෙරිණි. මේ කාලසීමාවේදීම බ්‍රිතාන්‍ය පලස්තීන පාලනය අත්හැරීමටත් පියවර ගත්තේය. මෙහිදී රටක් අහිමිව සිටි යුදෙව්වන්ට තමන්ගේම කියා රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා ඇති වූ සියොන්වාදී නම් සංකල්පය අනුව ඊශ්‍රායලය බිහිවිය. ඒ අනුව, ඊජිත්තුවට අයත් සීනායි අර්ධද්වීපයට මායිම්ව හා ජෝර්දානය, සිරියාව හා ලෙඛනනය යන අරාබි රටවල්වලට මායිම්ව ඊශ්‍රායලය ස්ථාපිත කෙරිණි.

මෙලෙස ජාත්‍යන්තර ප්‍රජාවගේ අනුග්‍රහය යටතේ බිහිවුණු ඊශ්‍රායලය එතැන් පටන් ක්‍රමයෙන් පලස්තීනයේ වෙසෙන පලස්තීනු ජනතාවට අයත් භූමිය අත්පත් කරගනිමින්, සිය භූමිය පුළුල් කරගැනීමට සමත් විය.

ඒ සඳහා ලොව පුරා ඉහළ තැන්වල කටයුතු කළ ධනවත් යුදෙව්වන්ගේ සහායද ඔවුන්ට හිමිවිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේදී පලස්තීන භූමිය සීමා වී ඇති බටහිර ඉවුර සහ ගාසා තීරයට කොටු වෙන්නට පලස්තීනුවන්ට සිදුවිය. අදටත් පලස්තීනුවන්ගෙත් බොහෝ දෙනා සරණාගතභාවයේ පසුවෙයි.

එහිදී වඩාත් අමානුෂික ආකාරයෙන් පලස්තීනුවන්ට සැලකීමට මෙම යුදෙව්වන් කටයුතු කළ අතර, පලස්තීන ජාතිකයන් නොසලකා හැරීමකට ලක්විය. එසේම ඊශ්‍රායලය ලොව අංක එකේ රටක් බවට පත්කිරීම සඳහා වූ යුදෙව් උත්සාහයේ අවස්ථාවක් ලෙස ක්‍රියාත්මක වූ මොසාට් බුද්ධි අංශයද මේ සඳහා ඉහළ දායකත්වයක් ලබාදුනි.

මෙම කරුණුවල ප්‍රතිඵලයක් ලෙස ගාසා තීරය තුළ ආයුද සන්නද්ධ සටන්කරුවන් බිහිවූ අතර, හමාස් සංවිධානය එහි මූලිකත්වය ගත්තේය. එසේම ගාසාහි අලුත උපදින දරුවා පවා ඊශ්‍රායලයට සහ යුදෙව්වන්ට එරෙහිව අවි ඔසවන මානසිකත්වයක් මතුවිය.

ඊශ්‍රායලය පවා සිය භූමිය අත්පත්කරගැනීම්හි නොනැවතී තවදුරටත් පලස්තීන භූමිය අත්පත් කරගැනීමත්, පලස්තීනුවන්ගේ සම්පත් සූරාකෑමත් මේ සඳහා හේතු විය. ආසන්න කාලසීමාවේදී පලස්තීන වැසියන් සහ ඊශ්‍රායල හමුදා අතර ගැටුම් සඳහා හේතු වූයේ මෙම තත්ත්වයන්ය.

පලස්තීනයේ ක්‍රියාත්මක මෙම හමාස් සංවිධානය (Harakat al-Maqawama al-islamiya) හෙවත් ඉස්ලාමීය විරෝධතා පෙරමුණ සුන්නි ඉස්ලාමිය මූලධර්මවාදීන්ගෙන් සමන්විත සංවිධානයකි. 1987 වසරේදී එය බිහිවූ අතර ඉස්මායින් හනියාහ් එහි නායකයාය. කෙසේ වෙතත්, එක්සත් ජනපදය මෙම හමාස් සංවිධානය ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තිබේ.

ගාසා තීරය තුළ ආයුද සන්නද්ධ කණ්ඩායමක් ලෙස වර්ධනය වූ හමාස් සංවිධානය 2007 වසරේදී ගාසා තීරයේ බලය අත්පත් කරගැනීමට සමත්ව තිබේ. එසේම බටහිර ඉවුරේද ඔවුන් ක්‍රියාත්මකව පවතී. සාමාජිකයන් 20,000ත් 25,000ත් අතර පිරිසක් හමාස් සංවිධානය හා සම්බන්ධව සිටිති.

අද වනවිට ඔවුන් දේශපාලන කණ්ඩායමක් ලෙස හදුන්වාදී ඇති අතර, එහි හමුදාමය අංශය අල්-කාසාමි බ්‍රිගේඩය ලෙස හැඳින්වෙයි. ඔවුන් සතුව කෙටි සහ මැදිදුර රොකට්, මෝටාර් විදින මෙන්ම, යුදටැංකි නාශක මිසයිල, නියමුවන් රහිත ගුවන් යානාද සතුය. එසේම ඔවුන් සතුව සයිබර් ප්‍රහාරක බලඇණියක්ද ඇතැයි සඳහන් වෙයි. පලස්තීනයෙන් කවදා හෝ යුදෙව්වන් පලවා හැරීම හමාස් සංවිධානයේ එකම අරමුණ වී තිබේ.
-   භානුක අමරසිංහ