geetha-speaks

මාසයක් ඇතුළත අවුරුදු 16ට අඩු දැරියන් 168 දෙනෙකු අපයෝජනයට ලක් කර ඇති බවත්, ඒ අය අතරින් දරුවන් 22ක් ගර්භණී බවට පත් වී ඇති බවත් කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරිය සඳහන් කළේ, 2023 සැප්තැම්බර් 01 දිනයේ සිට සැප්තැම්බර් 30 යන මාසයක කාලය තුළ මෙම අවාසනාවන්ත සිදුවීම් මාලාව සිදුව ඇති බවයි.

අමාත්‍යවරිය මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ,



“මාසයක් ඇතුළත දැරියන් 168ක් අපයෝජනය වෙච්ච රටක ඉන්නේ. රටක් හැටියට අපි ඉතාම අවාසනාවන්ත තත්ත්වයක ඉන්නේ. සියලුම පොලිස් ස්ථානවලින් ඉල්ලුවා, සියලුම පොලිස් අධිකාරිවරුන්ගෙන් ඉල්ලුවා දැඩි දඬුවමට ලක්වන ලෙසට මේ අයට කටයුතු කරන්න කියලා. මේ දරුවන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් ඒ දේ කරන්න කියලා. පාසල්වල විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා මේ දරුවන්ව ආරක්‍ෂා කරන්න කියලා.

හුඟක් වෙලාවට මේ දරුවන්ව අපයෝජනය වෙලා තියෙන්නේ මේ දරුවන්ගේ ළඟම ඥාතියාගෙන්, ගෙදරම ඉන්න කෙනෙක්ගෙන්. දරුවන්ට පියාව විශ්වාස කරන්න බෑ. ඥාතියව විශ්වාස කරන්න බෑ. ගුරුවරයව විශ්වාස කරන්න බෑ. ඒ නිසා මුළු රටේම ආකල්පය වෙනස් විය යුතුයි.

  දරුවන් කෙරෙහි ආදරයෙන් කරුණාවෙන් කටයුතු කරන්න හා නීතිය තදින් ක්‍රියාත්මක කරන්න කටයුතු කළ යුතුයි. අඩු වයසින් ප්‍රේම සම්බන්ධතා පවත්වලා ලිංගික කටයුතු කරලා ගැබ් ගත්ත දරුවන් 15දෙනෙක් මේ අතර ඉන්නවා, බලහත්කාරයෙන් අපයෝජනය කිරීම් නිසා ගැබ් ගත්ත අය 7දෙනෙක් ඉන්නවා” යනුවෙනි.