grade-5-exam-older

පහ වසර ශිෂ්‍යත්ව විභාගය පැවැති පෙරේදා (15) නිකවැරටිය කලාපයට අයත් විභාග මධ්‍යස්ථානයේදී සහකාර ශාලාධිපතිවරයකු විභාගයේ දෙවැනි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියූ සිද්ධියක් වාර්තාවේ.මෙම මධ්‍යස්ථානයේ දෙවැනි ශාලාවේ රැඳී සිටි සහකාර ශාලාධිපතිවරයකු ලෙස කටයුතු කර ඇති එම තැනැත්තා ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයකු බවද පැවැසේ.

සිද්ධිය දැනගත් සැණින් අධ්‍යාපන බලධාරීන් එහි ගොස් පරීක්ෂණයක් කර ඇති බවත්, එහි ශාලාධිපතිවරයා හා සිද්ධියට සම්බන්ධ බව කියන සහකාර ශාලාධිපතිවරයා විභාග කොමසාරිස්වරයාගේ නියමය පරිදි විභාග දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බවත් අධ්‍යාපන බලධාරීහු පවසති.


විභාග ශාලාවක ඉතිරි වන ප්‍රශ්න පත්‍ර මොහොතේම නිල මුද්‍රාව තබා ආරක්ෂිතව තැබීම ශාලාධිපතිවරයාගේ වගකීමක් වන අතර එහෙත් මෙම සහකාර ශාලාධිපතිවරයා ඒ වෙනුවට දෙවැනි ප්‍රශ්න පත්‍රයක් අත තබාගෙන රහසිගතව එයට පිළිතුරු ලියා ඇතැයි කියති.

එහෙත් එම පිළිතුරු ලියූ උත්තර පත්‍රය, අදාළ සිසුවාට දීමට මත්තෙන් ඇති වූ සැකයක් මත වෙනත් සිසුවකුගේ මේසය මත තබා ඔහු එතැනින් ඉවත්ව ගොස් ඇතැයි පැවැසේ.ඒ සැණින් ශාලාවේ සිටි නිරීක්ෂකයකු එම සිසුවා අසල උත්තර පත්‍රයක් තිබෙනු දැක එය තමා බාරයට ගැනීමෙන් පසු සිද්ධියේ සුලමුල හෙළිකර ගැනීමට හැකි වූ බව එම අධ්‍යාපන බලධාරීහු සඳහන් කරති. අධ්‍යාපන බලධාරීන් ඒ මොහොතේම එහි ගොස් සිද්ධිය සොයා බලා ඇති අතර සහකාර ශාලාධිපතිවරයා පිළිතුරු සපයා ඇති උත්තර පත්‍රය ඔහු ඉලක්ක කර ඇතැයි සිතන සිසුවාට බාර දීමට නොහැකි වී ඇති බවද පැවැසේ.
සිසිර කැලේගම