grade-5-exam

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර විභාගයෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් අරඹා ඇත.එම නීති විරෝධී ක්‍රියාවේ යෙදුණු කණ්ඩායම්වලට එරෙහිව තරාතිරම නොබලා කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

විභාගය අවසන් වීමෙන් පසු ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍යවලට නිකුත් කිරීමෙන් විභාගයේ රහස්‍යභාවයට කිසිදු හානියක් නොවූවද ඉන් දරුවන්ගේ මානසික තත්වයට බලපෑමක් එල්ල විය හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 2888කදී පෙරේදා (15) පැවැත්විණි. එම විභාගයට අපේක්ෂකයෝ තුන් ලක්ෂ තිස් හත් දහස් නවසිය පනස් හය දෙනෙක් පෙනී සිටියහ. විභාග කටයුතු අවසන් වී පැය දෙකක් ගතවීමටත් පෙර විභාග ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබූ බව දෙපාර්තමේන්තුව පවසයි.ශිෂ්‍යත්ව විභාගය පෙරේදා අවසන් වී පැය දෙකක් ගතවීමටත් පෙර මෙසේ පිටවී ඇත්තේ අංක 61313 දරන පළමු ප්‍රශ්න පත්‍රය සහ අංක 218013 දෙවැනි ප්‍රශ්න පත්‍රයයි.



විභාගයක් නිමවී ප්‍රතිඵල පිටවන තෙක් විභාග ප්‍රශ්න පත්‍ර විභාග දෙපාර්තමේන්තුවට අයත් රහස්‍ය ලේඛන වන අතර ඒවා ඊට පෙර ප්‍රසිද්ධියට පත් කිරීම දැඩි දඬුවම් ලැබිය හැකි වරදක් වෙයි. එවැනි නීතියක් හඳුන්වාදී ඇත්තේ විභාගය අවසන්වීමෙන් පසු විශේෂයෙන්ම පෞද්ගලික උපකාර පන්ති ගුරුවරුන් එම ප්‍රශ්න පත්‍ර ප්‍රසිද්ධියේ සාකච්ඡා කරමින් ගුණදොස් විවේචනය කිරීමේ ප්‍රවණතාව වළක්වාලීමේ අරමුණින් යුතුවය.
සුජිත් හේවාජුලිගේ