hanwella-incident

හංවැල්ල ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයක ප්‍රධාන ශාලාවේ බාල්කයක එල්ලෙමින් තිබූ පිරිමි මළ සිරුරක් ඊයේ 12 සොයා ගත් බව පාදුක්ක පොලිසිය කියයි.මෙලෙස මිය ගොස් ඇත්තේ කුමාරගේ සෝමපාල නමැති 70 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි. මොහු ඉකුත් (09) වැනිදා ගමේ යන බව පවසා වැඩිහිටි නිවසින් පිටව ගොස් ඇති අතර නැවත එම වැඩිහිටි නිවසට ඉකුත් (11) වැනි දින රාත්‍රියේ ප්‍රධාන ගේට්ටුව වසා දමන විටත් පැමිණ සිට නොමැති බව පොලිසිය සිදුකළ විමර්ශන වලින් අනාවරණය වී තිබේ.



මොහු පැමිණියේ කුමන මොහොතකදැයි නිශ්චිතව නොදන්නා අතර මධ්‍යම රාත්‍රියේ ආරක්ෂිත කම්බි වැට අතරින් රිංගා වැඩිහිටි නිවාසයට පැමිණ ඇති බවට පොලිසිය සැක කරයි. එල්ලවෙමින් තිබූ මොහුගේ සිරුර දුටු වැඩිහිටි නිවසේ සෙසු අය එය පාලනය අධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව පොලිසිය දැනුවත් කිරීමට කටයුතු කළ බව පොලිසිය කීය. සිද්ධිය වූ ස්ථානයට පාදුක්ක තුම්මෝදර ගලගෙදර හදිසි මරණ පරීක්ෂක නන්දසේන පන්නිපිටිය මහතා ගොස් වැඩිහිටි නිවසේ බාල්කයක එල්ලෙමින තිබු මෙම සිරුර සම්බන්ධව හදිසි මරණ පරීක්ෂණය පවත්වා මළ සිරුරුර අවිස්සාවේල්ල අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත් කර හදිසි මරණ පරීක්ෂණ වාර්තාව රැගෙන එන ලෙසට පාදුක්ක පොලිසියට නියෝග කළේය.
එච්.එස්.ඒ. නන්දන