harak-kata-salindu-escape-plan

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රැඳවුම් නියෝග මත රඳවා සිටින නඳුන් චින්තක හෙවත් හරක් කටා සහ සලිඳු මල්ෂික නොහොත් පානදුරේ කුඩු සලිඳු නමැති පාතාලකරුවන් මුදා ගැනීම සඳහා ප්‍රහාර මාලාවක් එල්ල කිරීමේ සැලැස්මක් පිළිබඳව බුද්ධි අංශවලට තොරතුරු අනාවරණය වී ඇතැයි එම දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට ඊයේ (24) කරුණු වාර්තා කළේය.



මේ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාරිතමේන්තුවට නියෝග කළේය. ක

ොමාන්ඩෝ හමුදා නිල ඇඳුමින් සැරසුණු කණ්ඩායමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇතුළුවී රසායනික අවි ප්‍රහාරයක් කර හරක් කටා සහ කුඩු සලිඳු මුදාගෙන පලායෑම මෙම සැලසුමේ අරමුණ බව ද එම දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කර ඇත.

මෙම ප්‍රහාරය සැලසුම් කළ හිටපු කොමාන්ඩෝ භටයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පහරදීමේ මෙම සැලසුම පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත්තේ එම කොමාන්ඩෝ භටයන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදීය. මේ සිද්ධිය පිළිබඳව තොරතුරු අනාවරණය වීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂක රැකවල් වැඩි කිරීමට පියවර ගෙන ඇත.

ඉන්දිකා රාමනායක