hirun-unexpected-death

“උදේ 4.15ට විතර පුතා නැගිටලා පහළ තට්ටුවට ආවා. වො රූම් ගිහින් ඇවිත් පුටුවේ ඉඳගත්තා. මාගේ බිරිය මටත් පුතාටත් කිරි හදලා ගෙනල්ලා දුන්නා. මම කාමරයට ගිහින් කිරි එක බිව්වා. පුතා සාලයේ ඉඳගෙන කිරි එක බිව්වා. මට ඇසුණා පුතාගේ කෝප්පය බිම වැටෙන හඬක්, එවිට මම ගිහිල්ලා බැලුවා, පුතා පපුව අල්ලාගෙන හිටියා. ඇස් උඩ ගිහිල්ලා තිබුණා. ඔහු කතා කළේ නෑ. පසුව මම  නාසයට කට තබා ඉරුවා. එවිට ඔහු කතා කළා. මොකද වුණේ කියල ඇහුවාම තේරෙන්නේ නෑ කියලා කිව්වා“ යැයි
26 හැවිරිදි තරුණයාගේ මරණ පරික්ෂණයේ දී ඔහුගේ පියා වන බෙන්තොට ආරච්චිගේ ලක්ෂ්මන් කිර්ති (56) යන අය සාක්ෂි දෙමින් පැවසුවේය.

මෙසේ මිය ගොස් ඇත්තේ බී.එච්. හිරුන් කංචුක සාරානාත් නමැති 26 හැවිරිදි තරුණයෙකි. හොරණ මූලික රෝහලේ හදිසි මරණ පරික්ෂණ උසාවියේ දී මෙම සාක්ෂි විමසීම සිදු කෙරිණ.

අවිවාහක කරුණයකු වූ හිරුන් පදිංචිව සිටියේ නො 133/ බී, 166 2 වැනි පටුමග, ධර්මානන්ද මාවත, බැල්ලන්තුඩාව ලිපිනයේය. ඔහු සංගීතයට දක්වා ඇත්තේ විශේෂ ඇල්මකි. රූපවාහිනී ගායන වැඩසටහන්වලින්ද දස්කම් දක්වා ඇති හිරූන් උසස් පෙළ විභාගයෙන් පසුව පාසල් ගමනට සමුදී සංගීත කණ්ඩායමකට බැඳීමට තීරණය කර ඇත්තේ ඔහු තුළ උපතින්ම තිබූ සංගීත හැකියාව තවදුරටත් ඔප් නංවා ගැනීමේ අරමුණ ඇතිවය



ඒ සඳහා ඔහුට මඟ පෑදුනේ බණ්ඩාරගම රිවර්ඩ් සංගිත කණ්ඩායමට සම්බන්ධ වීමට අවස්ථාව ලැබීමත් සමඟය. එම සංගිත කණ්ඩායමේ නිත්‍ය ගායකයකු වීමේ වරම් උදාකරගත් හිරුන් පෞද්ගලික ආයතනයක ගිණුම් පරීක්ෂකවරයකු ලෙස රැකියාවක්ද සොයා ගන්නේ වාණිජ අංශයෙන් ලබාගත් අධ්‍යාපන දැනුම් ද උපයෝගි කර ගනිමිනි.


හිරූන්ට සිටියේ එක් නැගණියක් පමණි. ඇය චමත්කා දේමිනිය. 21 හැවිරිදි ඇය කොළඹ ප්‍රදේශයේ නවාතැන්ගෙන අධ්‍යාපන කටයුතු සිදු කළ නිසා නිවෙසේ රැඳුණේ මව සිරිමති  (46) හා පියා ලක්ෂ්මන් කීර්ති මහතා සමඟ හිරුන් පමණි. එහෙත් පසුගිය 16 දා චමත්කා නිවෙසට පැමිණියාය.

එදින උදේ රැකියාවට ගිය හිරුන් හවස 7.00ට විතර රැකියාව නිමවී නිවෙසට ආවේ බණ්ඩාරගමින් කොත්තු දෙකක් ද රැගෙනය. රාත්‍රී ආහාරයට හතර දෙනාම කොත්තු කෑවේ ආගිය තොරතුරු ද කතා කරන අතරය. ඒ හිරුන් ඔවුන් සමඟ ගත කළ අන්තිම හෝරා කීපය බව කිසිවෙක් දැන සිටියේ නැත. සුපුරුදු පරිදිම ඔහු සංගිත කණ්ඩායමේ පුහුණුව සඳහා ගියේ රාත්‍රී 8.00 ට පමණය.

සිරිමති දිනරංජන කුමාරිහාමි සාක්ෂි දෙමින් මෙසේ පැවසූවාය.
පුතාට දිගටම පවතින කිසිම ලෙඩක් වැළ දී තිබුණේ නෑ. ඔහු හොඳින් හිටියා. එදා පුතා සංගිත පුහුණූවට ගිහින් රෑ 11.30ට විතර ගෙදර ආවා. ඒ ඇවිල්ලා යළිත් කොත්තුව කාලා නිදාගෙන තිබුණා. මම උදේ 4.30ට උයන්න නැගි ට්ටා, පුතා උඩ තට්ටුවේ ඉඳලා පහළට ආවා. ඔහු මට පැවසුවා කලන්තෙයි කියලා.

පුතා ඉන් පසුව ටැප් එකෙන් වතුර බිලා පුටුවේ ඉඳගත්තා. වෙලාවේ මම තේ එකක් හදලා දුන්නා, මම කුස්සියේ වැඩ කළා. පුතා සාලයේ ඉඳගෙන හිවියේ. ඒ වෙලාවේ මට ඇසුණා කෝප්පය බිම වැටෙන සද්දයක්, මම ගිහිල්ලා බලන කොට පුතා  පපුව අල්ලාගෙන අමාරුවෙන් හුස්ම ගත්තා. මගේ සැමියා පැමිණ පුතාගේ නහයට කට තියලා ඉරුවා, ඉන්පසුව පුතා කිව්වා දැන් අමාරු නැහැ කියලා. බෙහෙත් ගේන්න ඕන නැහැ කීවා. මමත් සැමියාත් පුතාව මෙඩි හෙල්ප් එකට එක්ක ආවා. එහිදී පුතා බැහැලා ඇවිල්ලා වෛද්‍යවරයාට අසනීපය ගැන කිවිවා. වෛද්‍යවරයා ඊසීජී ගන්න ඇඳට නඟින්න කිව්වා. ඒ වෙලාවේ පුතා ආපසු පපුව අල්ලා ගත්තා, පසුව වෛද්‍යවරයා ඔක්සිජන් දීලා ප්‍රතිකාර ලබා දිලා රෝහලට ගෙන යන එක හොඳයි කිව්වා. ඔවුන්ගෙම ගිලන් රථයෙන් පුතාව රෝහලට රැගන ආඩා, රෝහලේ දී දිගටම ප්‍රතිකාර ලබා දුන්නා. මම එළියේ හිටියේ. උදේ 6.10ට විතර පුතා මියගොස් ඇති බව වෛද්‍යවරු පැවසුවා. මරණයට හේතුව දැන ගැනීමට කැමතියි.

හොරණ මූලික රෝහලේදී පශ්චාත් මරණ පරික්ෂණය සිදු කළ අතර හොරණ හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු සුමේධ ගුණවර්ධන මහතා නිගමනය කර ඇත්තේ රුධිරවාහිනී නාල අවහිර වීම මත ඇති වූ හෘදයාබාධ රෝගයක් මත සිදු වූ මරණයක් බවය.

කෙසේ වුවත් වසර විසි හයක් මව්පිය රැකවරණයේ හැදි වැඩුණු හිරුන් කංචුක සාරානාත් 19 දා බැල්ලන්තුඩාව, මල්වත්ත පොදු සුසාන භූමියේ මිහිදන් වන්නේ ගමක් හඬවා තබමිනි.