hokandara-theft

හෝකන්දර හොරහේන නිව්සිටි ප්‍රදේශයේ නිවසක වයෝවෘද්ධ කාන්තාවකට අයත් රුපියල් ලක්ෂ 12 කට ආසන්න දේපළ සොරා ගත් එම නිවසේ ගෘහ සේවිකාව සොරාගත් දේපළවලින් කොටසක් සමග අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.අදාළ නිවසෙහි 70 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාව පමණක් ජීවත් වන බවත් ඇයගේ පුතුන් විදේශගතව රැකියාවල නිරතව මාසිකව ලක්ෂ දෙකහමාරට ආසන්න මුදලක් ඇය වෙත ලැබීමට බැංකු ගතකර ඇති බවත් පොලිසිය පවසයි.



අත්අඩංගුවට ගත් ගෘහ සේවිකාව වසර එකහමාරකට වැඩි කාලයක් එම නිවසෙහි සේවය කර ඇති බවත් එලෙස සේවය කරන අතර ගෙහිමි කාන්තාවගේ අල්මාරියෙන් වරින් වර වසරකට ආසන්න කාලයක් මුදල් ලක්ෂ හයකට වැඩි ප්‍රමාණයක් සොරකම් කර ඇති බවත් ඇයට අයත් බැංකු කාඩ්පත යොදා ගනිමින් රත්‍රන් භාණ්ඩ මිලදී ගෙන එය ගෘහ සේවිකාවගේ ඥාති පුත්‍රයකු මාර්ගයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලට උකස් තබා මුදල් ලබාගෙන ඇති බවටත් කරුණු අනාවරණය වූ බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙමෝදර ගවරවෙල බැද්දෙවෙල පහළ වට ගොඩගෙදර ප්‍රදේශයේ පදිංචිකාරියක වන 45 හැවිරිදි කාන්තාවකි. අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටියාය.


 කේ. බුද්ධික කුමාරසිරි