homagama-incident

හෝමාගම පොලිස් වසමේ හෝමාගම මූලික රෝහල ඉදිරිපිට පිහිටි පෞද්ගලික වෛද්‍ය රසායනාගාරයක් ඉදිරිපිට පෙරේදා (29දා) රාත්‍රියේ නිදා සිටි වයෝවාද්ධ යාචකයකුව ගිනි තබා ඝාතනය කළ පුද්ගලයකු ඊයේ (30දා) උදෑසන අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ හෝමාගම මූලික රෝහල ආසන්නයේම පදිංචිකරුවකු වන, ඉතා දීර්ඝ කාලයක් තිස්සේ සිගමන් යදිමින් ජීවත්වූ (අවු.64) පෙරුම්බුලි ආරච්චිගේ ධර්මදාස නමැති පුද්ගලයකු බව පොලීසිය පැවසීය. යාචකයා ඝාතනයට ලක් කළ පුද්ගලයා මීට පෙර දිනක ඔහු සමග බහින් බස් වීමක් සිදුවී ඇති බවත්, එලෙස බහින්බස් වීම සිදුවන අතරතුරදී සැකකාර තරුණ පුද්ගලයා "කාලකන්නියා තෝ තාන්නේ නෑතේ නෑ නේද ? වෙලාවක මම උඹව අපුල්ලනවා බැරිවුණොත් රෙදි ටිකටත් ගිනි තියලා තොටත් ගිනි තියනවා.

උඹ මේ සීමාවේ රෑට නිදාගත්තොත් බලාගන්න පුළුවන්” යැයි පරුෂ වචනයෙන් බැණ වදිමින් තර්ජනය කර ඇති බවත් පෙරේදා (29දා) වන දින රාත්‍රී 10.30 ට පමණ වයෝවෘද්ධ පුද්ගලයා නිදා සිටි පෞද්ගලික වෛද්‍ය රසායනාගාරය ඉදිරිපිටට පැමිණි සැකකරු යාචකයාට ගිනි තබා ඇති බවත් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලීසිය පවසයි.

සිද්ධියේදී විශාල ලෙස ගිනි ඇවිළුණු පුද්ගලයා උස් හඬින් කෑ ගැසීමේ ශබ්දය ඇසී අවට පදිංචි ප්‍රදේශවාසීන් පැමිණ ගිනි ගැනීමෙන් දැවෙමින් තිබූ පුද්ගලයා තෙත ගෝනි සහ තෙත රෙදි භාවිත කරමින් නිවා දමා ඉතා ඉක්මනින් රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලීසිය පැවසීය. රෝහලට ඇතුළත් කරන විටත් බරපතළ තත්ත්වයේ පසුවූ වයෝවෘද්ධ පුද්ගලයා බේරාගැනීමට වෛද්‍යවරුන් සහ හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ නිලධාරීන් එක්ව හදිසි ප්‍රතිකාර රැසක් සිදු කර ඇති බවත්, එලෙස ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (30දා) වන දින අලුයම ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පැවසීය.



ගිනි තබා ඝාතනයට ලක් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකාර පුද්ගලයා 27 වැනි වියේ පසුවන හෝමාගම, ගලවිලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත්, සැකකරු හෝමාගම පොලීසියේ නිලධාරීන් විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලීසිය පැවසීය. සැකකාර පුද්ගලයා මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිවී විටින් විට ප්‍රදේශවාසීන්ටද හිරිහැර වන අන්දමින් හැසිරෙන අයකු බවත් පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. අත්අඩංගුවට ගත් සැකකරු අද (01දා) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ශාන්ත ප්‍රදිප් කුමාර කුලරත්න