horana-accident

මගීන් නංවා ගැනීම සඳහා තරගයට ධාවනයේ යෙදුණු පෞද්ගලික බස් රථ දෙකක් හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේදී එකිනෙක ගැටීමෙන් 6 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි.එම අනතුරත් සමඟම ප්‍රකෝප වූ මගීන් සහ ප්‍රදේශවාසීන් අනතුර සිදුකළ බස් රියදුරුට පහරදී ඇති අතර පොලිසිය මැදිහත් වී රියදුරු දැඩි පරිශ්‍රමයකින් බේරා ගෙන අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත රැගෙන ඒමට පියවර ගෙන ඇත.





සිදු වූ අනතුරින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 6 දෙනකු තුවාල ලැබූ අතර ඔවුන් 1990 සුවසැරිය ගිලන් රථයෙන් හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත. මතුගම සිට හොරණ දක්වා සහ කළුතර සිට හොරණ දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථ දෙක හොරණ කළුතර මාර්ගයේ යාල හංදියේ සිට මගීන් ගැනීම සඳහා එකිනෙකා පරයා ධාවනයේ යෙදී ඇති අතර කළුතර සිට හොරණ දක්වා ගමන් ගත් බස් රථය බැල්ලපිටිය පාසල අසල බස් නැවතුමේ නැවතීමත් සමඟම මතුගම සිට හොරණ දක්වා ධාවනය වූ බස් රථය අධික වේගයෙන් පැමිණ ඉදිරියෙන් නවතා තිබූ බස් රථය පිටුපසින් ගැටීමට සලසවා මෙම අනතුර සිදුකර තිබූ බව පොලිසිය කියයි.අනන්තුරින් තුවාල ලැබූයේ කළුතර සිට හොරණ දක්වා ධාවනය වන බස් රථයේ ගමන් ගත් මගීන්ය. අත්අඩංගුවට ගත් මතුගම හොරණ බස් රථයේ රියදුරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

බිමල් ශ්‍යාමන් ජයසිංහ