indonesia-bullet-train

ඉන්දුනීසියාව සිය ප්‍රථම අධිවේගී බුලට් දුම්රිය ඊයේ (01දා) සේවයට එක් කළ බව වාර්තා වෙයි. ඒ අනුව, මෙය අග්නිදිග ආසියාව තුළ ආරම්භ කෙරුණු පළමුවැනි බුලට් දුම්රිය සේවාව ලෙසද ඉතිහාසයට එක්ව තිබේ. මෙහිදී, එරට ජකර්තා අගනුවර සිට බටහිර ජාවාහි බන්ඩුන්ග් දක්වා මෙම දුම්රිය ධාවනය කෙරේ.

විශේෂයෙන්ම, චීනය මගින් ක්‍රියාත්මක කරන තීරයක් සහ මාවතක් වැඩසටහන යටතේ වන යටිතල පහසුකම් දියුණු කිරීමේ ව්‍යාපෘතියක් යටතේ මෙම බුලට් දුම්රිය ඉදිකර තිබේ. 2015 වසරේදී මේ සඳහා වන මූලික අත්සන් තැබීම සිදුකර ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා වැය වූ මුදල එක්සත් ජනපද ඩොලර් බිලියන 7.3ක් ලෙස ගණන් බලා ඇති අතර, ඉන් වැඩිම කොටස පයා ඇත්තේ චීනයේ රජයට අයත් ආයතන වෙතිනි.

මූලික සැලසුමට අනුව වසර 2019 වනවිට මෙම බුලට් දුම්රිය ව්‍යාපෘතියේ වැඩ අවසන් කිරීමට නියමිතව තිබුණත්, COVID-19 වසංගතය මෙන්ම, ඉඩම් අත්පත් කරගැනීමේ ඇති වූ ගැටලු ඇතුළු හේතු ගණනාවක් නිසාම එය පමා විය.

ජකර්තා අගනුවර සහ බන්ඩුන්ග් අතර ක්‍රියාත්මක මෙම දුම්රිය මාර්ගය කිලෝමීටර් 138ක දිගකින් යුතු වෙයි. මෙය WHOOSH යන නමින් නම් කර තිබේ. ඉන්දුනීසියාව සහ චීනය අතර ඇති කරගත් හවුල්කාරිත්වයක් යටතේ පිහිටුවා ගත් PT Kereta Cepat Indonesia China (PT KCIC) සමාගම මගින් මෙම දුම්රිය සේවය පවත්වාගෙන යයි.

මෙහිදී, දුම්රිය ආසන්න වශයෙන් පැයට සැතපුම් 217ක පමණ වේගයකින් ධාවනය කෙරෙන බව පැවසෙයි. එසේම දුම්රිය විදුලි බලයෙන් ක්‍රියාත්මක වන බවත්, ඒ හරහා ඍජුවම කාබන් විමෝචනයක් සිදු නොවන බවත් සදහන් වෙයි.

මෙම බන්ඩුන්ග් නගරය ඉන්දුනීසියාවේ දෙවැනි විශාලතම නගරය ලෙසින්ද සැලකෙයි. එසේම එය එරට ප්‍රධානතම සංස්කෘතික සහ කලා නගරයක් ලෙසින්ද සැලකෙයි. ඒ අනුව, මෙම නගර දෙක අතර ගමන් කිරීම සදහා දැනට වැය වෙන පැය තුනක පමණ කාලය පැයකටත් වඩා අඩු කරගැනීම මෙම බුලුට් දුම්රිය යෙදවීමේ අරමුණ වී තිබේ. එසේම, මෙම දුම්රිය එරට තුළ පොදු ප්‍රවාහන පද්ධතිය වෙතද සම්බන්ධ කෙරෙන බවත් පැවසෙයි.

"මෙම දුම්රිය සේවාව කාලය ඉතිරි කරන, වඩාත් සුමට මෙහෙයුමක් සහිත, වඩාත් විශ්වාසදායී පද්ධතියක්." ලෙස PT KCIC සමාගම මෙය හඳුන්වාදී තිබේ.



මෙම දුම්රිය සහ එහි මැදිරිද ඉන්දුනීසියාවේ නිවර්තන දේශගුණයට සරිලන ලෙසින් නිර්මාණය කර තිබීමත් විශේෂත්වයකි. එහිදී, වඩාත් නවීනතම ආරක්ෂක පද්ධතියක්ද එහි යොදවා ඇති අතර, එමගින් භූකම්පන, ගංවතුර හෝ වෙනත් හදිසි තත්ත්වයන් වෙත ක්ෂණිකව ප්‍රතිචාර දැක්විය හැකි බව සදහන් වෙයි.

PT KCIC සමාගමට අනුව මෙම දුම්රිය සතුව මැදිරි අටක් පවතී. මෙම මැදිරි තුළ මගී ආසන 601ක් පිහිටුවා තිබේ. ඒවා පළමු, දෙවැනි සහ VIP ලෙස කාණ්ඩ කෙර් තිබේ. එසේම, එම මැදිරි සියල්ලක්ම වයි- ෆයි පහසුකම් මෙන්ම යූඑස්බී ආරෝපණ ස්ථානවලින්ද සමන්විත වෙයි.

වර්තමානයේදී ලොව සිව්වැනියට විශාලතම රට වන ඉන්දුනීසියාව අග්නිදිග ආසියාව තුළ විශාලතම ආර්ථිකයටද හිමිකම් කියයි. මේ වනවිට ඉන්දුනීසියාව චීනයේ ආයෝජන සදහා වැඩි නැඹුරුතාවක් පෙන්නුම් කර ඇති අතර, එරට විශාලතම වෙළෙඳ සහ ආයෝප්ත හවුල්කරුවා වන්නේද චීනයයි.

මෙම බුලට් දුම්රිය ව්‍යාපෘතියට අමතරව චීනය ඉන්දුනීසියාව තුළ තවත් සංවර්ධන ව්‍යාපෘති රැසක් සිදු කිරීමට බලාපොරොත්තුව සිටියි. ඒ අතර, රෙම්පාන්ග් දූපතේ ඉදි කෙරෙන දැවැන්ත චීන වීදුරු කර්මාන්තශාලාවද වන බව විදෙස් මාධ්‍ය පවසයි.