ජාවාරම් කිරීම සඳහා ශ්‍රී ලංකාවට හෙරොයින් රැගෙන එමින් සිටියදී නාවික හමුදාව විසින් අකුරල මුහුදු තීරයේදී අත්අඩංගුවට ගන්නා ලද ඉරාන ජාතිකයන් 09 දෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරජා මහතා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ඊයේ (12) නියම කළේය.වසර 04කට ඉහතදී හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පැවරූ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී අදාළ චෝදනාවලට තමන් වරද පිළිගන්නා බව දැනුම්දීමෙන් අනතුරුව විත්තිකරුවන් වරදකරුවන් බව තීරණය කරමින් අදාළ දඬුවම් නියම කළ විනිසුරුවරයා විත්තිකරුවන් වහාම රටින් පිටුවහල් කිරීමටද නියම කළේය.
2019 මාර්තු 29 වැනිදා හෝ ඊට ආසන්න දිනයක ශ්‍රී ලංකාවට අනන්‍ය වූ අකුරල මුහුදු තීරයේ දී හෙරොයින් ග්‍රෑම් 83654ක් සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා චෝදනා නඟා තිබිණි. විත්තිකරුවන් සම්බන්ධයෙන් නාවික හමුදාවට ලැබුණු තොරතුරකට අනුව ශ්‍රී ලංකාවට අනන්‍ය වූ අකුරල මුහුදු තීරයේ සැකකටයුතු අන්දමින් යාත්‍රා කරමින් තිබූ යාත්‍රාවක් පරීක්ෂාවට ලක් කර ඇති අතර ඒ අවස්ථාවේදී එහි තිබී හෙරොයින් තොගය සොයාගෙන ඇති බවත් පසුව එහි සිටි විත්තිකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවත් අනාවරණය විය.
පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් මහතාට විදේශ ඔත්තුකරුවකුගෙන් ලද තොරතුරකට අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ සහ නාවික හමුදාවේ නිලධාරීන් සමග එක්ව ජාවාරම්කරුවන් ලෙස වෙස්වලාගෙන අකුලෙ ප්‍රදේශයේ මහ මුහුදේ කළ විශේෂ මෙහෙයුමක දී හෙරොයින් තොගය සමග විත්තිකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී තිබිණි. මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේ දී බන්ධනාගාර නිලධාරීන් විසින් විත්තිකාර ඉරාන ජාතිකයෝ 09 දෙනා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ. අදාළ චෝදනාවලට තමන් වරද පිළිගන්නා බව විත්තිකරුවෝ විවෘත අධිකරණයේ දී ප්‍රකාශ කළහ. ඒ අනුව විත්තිකරුවන් වරදකරුවන් බව තීරණය කළ විනිසුරුවරයා ඔවුන්ට ජීවිතාන්තය දක්වා වූ බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.
මනෝප්රිය ගුණසේකර
0 Comments