මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති මෙන්ම කෝට්පති ව්‍යාපාරිකයෙකු වූ ජනක රත්නායක මහතාගෙන් රුපියල් ලක්ෂ 15ක කප්පම් මුදලක් ලබාගත් බව කියන තිදෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. ඩුබායිහි සැඟව සිටින බ්ලූමැන්ඩල් සංඛ නමැත්තා නමින් දුරකථන ඇමතුම් දී එම කප්පම් මුදල් ලබාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
බ්ලුමැන්ඩල් සංඛ යනුවෙන් හඳුන්වා දුන් පුද්ගලයකු ඉකුත් 6 වැනිදා උදේ 7.00 ත් 9.00 ත් අතර කාලයේදී තමන්ට දුරකථන ඇමතුමක් දෙමින් තමන් ඝාතනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 80 ක කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇති බවත් එම කොන්ත්‍රාත්තුව ඉටු නොකිරීමට රුපියල් ලක්ෂ 15ක් අවශ්‍ය බවත් පවසා එම මුදල් ඉල්ලූ බව ජනක රත්නායක මහතා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.තම කාර්යාලයේ මුදල්වලින් රුපියල් ලක්ෂ 15 ක මුදලක් තමන්ට ඇමතුම් දුන් පුද්ගලයාට දෙන ලෙසට තමා සේවකයකුට දැනුම් දුන් බවද ජනක රත්නායක මහතා කළ පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය සඳහන් කරයි.
ඒ අනුව එම සේවකයා ජනක රත්නායක මහතා දුන් විස්තරවලට අනුව කිරුළපන පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට දී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් තිදෙනකුට රුපියල් ලක්ෂ 15ක මුදල ලබාදී ඇත.ජනක රත්නායක මහතා ඒ සම්බන්ධයෙන් කිරුළපන පොලිසියට පැමිණිලි කර අනතුරුව පොලිස්පතිවරයාට පැමිණිලි කිරීමෙන් අනතුරුව පොලිස්පතිවරයාගේ නියමයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණයක් ආරම්භ කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස සැකකරුවන් තිදෙනා කුරුණෑගල සහ රඹුක්කන ප්‍රදේශවල දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරුවන් කප්පම් මුදල් බැර කිරිම සඳහා පරිහරණය කළ රඹුක්කන ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක ගිණුමකට අසීමිත ලෙස මුදල් බැර වීම හේතුවෙන් බැංකුව මගින් එම ගිණුම අත්හිටුවා ඇති බව ද අනාවරණය වී යැයි පොලිසිය කියයි. ඒ හේතුවෙන් මෙම කප්පම් මුදල් සැකකරුවන් තම අතට ලබාගෙන තිබූ බව පොලිසිය කියයි.
එම කප්පම් මුදල් ලබාගැනීම සඳහා සැකකරුවන් කුලී පදනම මත මෝටර් රථයක් ලබාගෙන තිබූ බවට අනාවරණයවී ඇති අතර ඔවුන් ලැගුම්හල් කීපයක නවාතැන් ගෙන තිබූ බවට හා මෙම කප්පම් ගැනීම සඳහා තවත් කීපදෙනකු ද සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන්ගේ නම් පවසා කප්පම් ගැනීමේ ජාවාරමක් කලක සිට කරගෙන ගොස් ඇති බව පෙනී යන්නේ යැයි පොලිසිය කියයි. ඔවුන් බ්ලූමැන්ඩල් සංඛ නමැත්තාගේ ගෝලයන්ද යන්න සොයා විමර්ශන පවත්වන බවද පොලිස් නිලධාරියෙක් පැවැසීය. සැකකරුවන් මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූවන් වන අතර 24 සහ 31 හැවිරිදි වියේ පසුවන ඔවුන් රඹුක්කන සහ කුරුණෑගල පදිංචිකරුවන් බවත් පොලිසිය කියයි.
බිමල් ශ්‍යාමන් ජයසිංහ
0 Comments