joe-biden-israel

ඊශ්‍රායලය සහ ගාසා තීරයේ හමාස් සටන්කරුවන් අතර දින 12ක් පුරා පවතින ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් ඊශ්‍රායලය වෙත උපදේශ ලබාදීම සඳහා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් අද (18දා) දිනයේදී එරට ටෙල්අවිව් නුවර වෙත පැමිණීමට නියමිතව ඇතැයි ධවල මන්දිරය පවසයි.

ඒ අනුව, මෙය ඊශ්‍රායල හමුදා හමාස් සටන්කරුවන්ට එරෙහිව ගාසා තීරය තුළ සිය ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කිරීමට පෙරාතුව එම සෙබළුන් ධෛර්යමත් කිරීම සදහා බයිඩන් සිදුකරන සංචාරයක් ලෙසද විදෙස් මාධ්‍ය හඳුන්වාදී තිබේ.

කෙසේ වෙතත්, පසුගියදා වොෂිංටන් නුවරදී සම්මුඛ සාකච්ඡාවක් පැවැත් වූ බයිඩන් ඊශ්‍රායල හමුදා ගොඩබිම ඔස්සේ ගාසා තීරය වෙත ඇතුළුවීම ඔවුන් සිදුකරන වැරැද්දක් බවටද පවසා තිබුණි.



මෙලෙස ඊශ්‍රායලය වෙත පැමිණෙන බයිඩන් ඉන් අනතුරුව ජෝර්දානයේ අම්මාන් නුවර වෙත යාමට සැලසුම් කර ඇති අතර, එහිදී ඔහු හමුවීම සඳහා එරට අබ්දුල්ලා රජු, ඊජිප්තු ජනාධිපති ෆටාහ් අල් සිසි, පලස්තීන ජනාධිපති මෙහොමඩ් අබ්බාස් යන පිරිස් සූදානමින් සිටින බවත් සඳහන් වෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ධවල මන්දිරයද, ”ජනපති බයිඩන් හමාස් සංවිධානය කියන්නේ පලස්තීන ජනතාව වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් නොවන බව පැහැදිලිවම ප්‍රකාශ කර තිබෙනවා. මේ ගමනේදී ඔහු ගාසා තීරයේ සිවිල් වැසියන් සදහා ලබාදිය හැකි මානුෂීය ආධාර පිළිබඳව සාකච්ඡා කරාවි.” යනුවෙන් පවසා තිබේ.

ජනපති බයිඩන්ගේ මෙම ඊශ්‍රායල සහ මැදපෙරදිග සංචාරයට සමගාමීව, එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය ඊයේ දිනය වනවිට සිය මැරින් සෙබළුන් 2,000කට අධික පිරිසක් ඊශ්‍රායල වෙරළට ඔබ්බෙන් සාගරය වෙත ඒවා තිබූ බව මාධ්‍ය වාර්තා කළේය.

දැනටමත් එක්සත් ජනපදයේ ප්‍රහාරක යුද නොකා දෙකක් මෙම මධ්‍යධරණී මුහුදු සීමාව වෙත ළගාවී තිබේ. ඒ අනුව, මෙය කලාපය තුළ සිය බලය පෙන්වීමේ අවස්ථාවක් ලෙසද ඔවුන් සදහන් කර තිබුණි.

මේ අතර, ඊයේ දිනයේදී පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ගැටුම් නැවැත්වීම සඳහා රුසියාව යෝජනා කළ සටන් විරාමයක් ප්‍රතික්ෂේප කිරීමට එම කවුන්සිලයේ සාමාජිකයෝ පියවර ගෙන තිබේ. මෙහිදී, යෝජනාවට පක්ෂව ඡන්ද පහක් හිමිව ඇති අතර, එයට විපක්ෂය ඡන්ද හතරක් හිමිව තිබේ.

එහෙත් යෝජනාවක් සම්මතවීම සදහා සාමාජිකයන් නව දෙනෙකුගේ ඡන්දය හිමිවිය යුතුව ඇත.

මෙම ගැටුම් හේතුවෙන් අවතැන්ව සිටින ගාසා තීරයේ වැසියන් සදහා අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ඇතුළු ද්‍රව්‍ය රැගත් ට්‍රක්රථ පෙළක්ම මේ වනවිට ඊජිප්තු ගාසා තීර අතර රෆා සීමාව ආසන්නයේ රඳවා තිබෙන අතර, ඊයේ දිනය වන තෙක් එම රථ වෙත ගාසා තීරය වෙත ඇතුළුවීමට අවස්ථාව ලබාදී නොතිබුණ. මේ වනවිට ගාසා තීරයේ ජනතාව දැඩි ජලය සහ ආහාර හිගතාවකින් පෙළෙන අතර, මෙය දරුණු මානුෂීය අර්බුදයක් බවට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයද සදහත් කර තිබේ.

මේ අතර, හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපයේ තබාගෙන සිටින ඊශ්‍රායල ජාතිකයන් ඇතුළු විදේශිකයන් බේරාගැනීම සදහා මේ වනවිටත් සාකච්ඡා පැවැත්වෙන බව ඊජිප්තු රජය ඊයේ පවසා තිබේ. මේ වනවිට 150කට අධික ප්‍රාණ ඇපකරුවන් පිරිසක් ඔවුන් භාරයේ සිටින බව පැවසෙයි.

ගාසා තීරයේ උතුරු කොටසේ වෙසෙන පලස්තීන ජනතාවට ඉන් ඉවත්වීම සදහා ඊශ්‍රායලය ලබාදුන් දැනුම් දීමට අනුව ඊයේ දිනයේදීත් දහස් ගණනක පිරිසක් දකුණු දිග ගාසා තීරය වෙත පැමිණෙමින් සිටි බව සදහන් වෙයි.

කෙසේ වෙතත්, ඊයේ දිනයේදී ඊශ්‍රායල ගුවන් හමුදාව දකුණුදිග ගාසා තීරයේ පිහිටි බාත් යුනිස් නගරය වෙත එලල් කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් 70දෙනෙකුට ආසන්න පිරිසක් මරණයට පත්ව ඇතැයි එහි ක්‍රියාත්මක සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය.

මේ අතර, ඊශ්‍රායලයට උතුරුදිගින් පිහිටි ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සටන්කරුවන්ගෙන් ඊශ්‍රායලය වෙත එල්ල වන රොකට් ප්‍රහාරද තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, ඊශ්‍රායලය ඔවුන්ට එරෙහිව පෙරේදා දිනයේදී සුදු පොස්ෆරස් බෝම්බ ප්‍රහාර එල්ල කළ බව වාර්තා වෙයි. මේ හේතුවෙන් ලෙබනනයේ සිවිල් වැසියන් කිහිපදෙනෙකු මියගොස් ඇතැයි ලෙබනන මාධ්‍ය වාර්තා කළේය.