kabral-lalith-free-211-crore-case

ශ්‍රී ලංකා රජයට අයත් ඇමරිකානු ඩොලර් ලක්ෂ 65 ක (රුපියල් කෝටි 211) මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතාට සහ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට එරෙහි පවරා තිබූ නඩුවෙන් ඔවුන් දෙදෙනා නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඊයේ (04) නියෝග කළේය. එම නඩුව සම්බන්ධයෙන් ඉදිරියට ගෙන යාමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී නොමැති බැවින් වගඋත්තරකාර පාර්ශ්වය නිදහස් කළ අධිකරණය, එම නඩුව නිෂ්ප්‍රභ කළේය.මෙම පෞද්ගලික පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නාලන්දාරාම, නුගේගොඩ ලිපිනයැති තීනියාවල පාලිත හිමියන් විසිනි.



මෙම පෞද්ගලික පැමිණිල්ල තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඉල්ලා අස්කර ගනු ලබන බවට උන්වහන්සේ වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කළ ඉල්ලීමකට අනුව ඉකුත් ජනවාරි මස 23 වැනිදා එම නඩුවෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා නිදහස් කිරීමට අධිකරණය තීරණය කර තිබිණි.පසුව නැවතත් එම පෞද්ගලික පැමිණිල්ල පැමිණිලිකරු විසින් ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේ දී වගඋත්තරකරුවන් වශයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරුන් දෙදෙනාම නම් කර තිබිණි.



ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ගොඩනැංවීමේ අරමුණට මුවාවී එවකට එනම් 2014වර්ෂයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාව සිට, ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන 6.5ක මුදලක් ඇමෙරිකානු සී.අයි.ඒ. ඔත්තු සේවයේ නියුතුව සිටි ඉමාඞ් ෂා සුබයිර් යන අයට ගෙවා ඇති බවට සඳහන් කරමින් හිටපු මහ බැංකු අධිපතිවරයාට සහ හිටපු ජනාධිපති ලේකම්වරයාට එරෙහිව මෙම පෞද්ගලික පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.

 නිමන්ති රණසිංහ