kalpitiya-business-man-incident

කල්පිටිය පල්ලිවාසල්තුරේ ප්‍රදේශයේ දී පෙරේදා (22දා) සවස මෝටර් රථයකින් පැමිණි සිව්දෙනෙකුගෙන් සමන්විත කල්ලියක් විසින් පැහැරගත් කෝටිපති මාළු ව්‍යාපාරිකයා කොට්ටුකච්චිය ප්‍රදේශයෙදී පැහැරගෙන යමින් තිබූ මෝටර් රථයෙන් පැන දිවි බේරාගෙන ආණමඩුව පොලීසියට පැමිණ ඇති බව කියයි.

කල්පිටිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ මාළු ව්‍යාපාරිකයකු වන සින්නකුඩිරිප්පුව, ප්‍රදේශයේ පදිංචි මොසස් මිරියා මියොසියස් (අවු.49) නමැත්තෙකු මෙම සිද්ධියට මුහුණදී තිබිණි.

සිය පුතු කොළඹ බලා ගමන් ගන්නා බස් රථයකට නැංවීමට පාලවිය මංසන්දියට ගොස් ආපසු ව්‍යාපාරිකයාට අයත් මෝටර් රථයකින් තවත් ඥාතියකු සමග පැමිණෙමින් සිටියදි පල්ලිවාසල්තුරේ ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් බව පවසා අදාළ ව්‍යාපාරිකයා මෙම පිරිස පැමිණි වාහනයට බලෙන් නංවාගෙන ඇති බව පොලිස් පරික්ෂණවලදී හෙළිව ඇත.

ව්‍යාපාරිකයා පැහැරගත් පිරිස ගමන් ගත් වාහනය නොරෝව්වෝල කරඹ පොලිස් මාර්ග බාධකයේදී හා

කොළඹ හලාවත මාර්ගයේ මුන්දලම පොලීසියේ මාර්ග බාධකයකදී නවත්වන ලෙසට අණ කළද අදාළ මෝටර් රථය නොනවත්වා ධාවනය කිරීම ගැන තමන්ට සැක සිතුණු බව ව්‍යාපාරිකයා කියයි.

පසුව මෙම මෝටර් රථය අතුරු මාර්ගයක දමාගෙන නැවත පුත්තලම කුරුණෑගල මාර්ගයේ ආණමඩුව දෙසට ගමන් කරමින් සිටියදී එය කිසියම් හේතුවක් මත නවතා ඇති බවත් එයින් ප්‍රයෝජන ගත් අදාළ ව්‍යාපාරිකයා ඉන් පැන මඟ මඟගදී හමු වූ වෙනත් වාහනයකින් ආණමඩුව නගරයට පැමිණ ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබේ.

ඒ අතරතුර කල්පිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු මෝටර් රථයකින් පැහැර ගෙන යමින් ඇති බවට ලැබුණු පොලිස් ඇමතුම් මත ආණමඩුව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ආණමඩුව නගරයේදී හදිසි වාහන සෝදිසියක් සිදු කර සැකකටයුතු මෝටර් රථය අත්අඩංගුවට ගෙන තිබිණි.

මේ අතර එහි සිටි සැකකරුවන් පිරිසක් සූක්ෂම ලෙස පලා ගොස් ඇති බවත් පොලීසිය අදාළ මෝටර් රථය හා රියැදුරු බව කියන අදාළ කොල්ලය මෙහෙය වු සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව කියයි.

මාදපුරය, ඊරියමල්කුඹුර යක්කලමුල්ල 33 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.



කෙසේ නමුත් මෙම ව්‍යාපාරිකයා කුමන හේතුවක් මත අදාළ කොල්ල කල්ලිය පැහැර ගත්තාදැයි මේ වනවිට ආණමඩුව හා කල්පිටිය පොලිස්ථාන එක්ව ඒකාබද්ධ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ආණමඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අදාළ කොල්ලය මෙහෙය වු සැකකරුගෙන් මෙම පැහැර ගැනීම කුමන හේතුවක් මත සිදු කළේ දැයි ප්‍රශ්න කිරීම ආරම්භ කර ඇති බව කියයි.

කෙසේ නමුත් අදාළ ව්‍යාපාරිකයාගෙන් ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ තමන් කුමන හේතුවක් මත අත්අඩංගුවට ගත්තා දැයි නොදන්නා බවත් පැහැරගත් පිරිස මෝටර් රථයෙ පැමිණෙන අතරතුර දී පවා කිසිදු ලෙසකින්වත් පැහැර ගැනීමට හේතුව කුමක් දැයි හෙළි නොකළ බවයි. අදාළ පැහැර ගැනීමට සම්බන්ධ සැකකරුවන් හා වාහන වැඩිදුර විමර්ශන සඳහා කල්පිටිය පොලීසියට භාර දීමට නියමිතව තිබිණි. ආණමඩුව පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
- පුත්තලම - හිරාන් ප්‍රියංකර ජයසිංහ