kamal-gunaratne-chandima-weerakkody

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් කියා සිටියේ පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති කාරක සභා රැස්වීමකදී ආරක්ෂක ලේකම්වරයා සහ යුධ හමුදාපතිවරයා තමන්ට තර්ජනය කළ බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී යුද හමුදාව පහත හෙළීම සම්බන්ධයෙන් චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශයක් කළ අවස්ථාවේදී

ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න තර්ජනාත්මක ප්‍රකාශයක් කළ බව ඔහු පාර්ලිමේන්තුවේදී පැවසීය.

ආරක්‍ෂක අයවැය අඩු කිරීමට සෙබළු සංඛ්‍යාව අඩු කරනවාට වඩා ඉහළ හමුදා නිලධාරීන්ගේ වියදම් අඩු කිරීම හොඳ බව කමිටු රැස්වීමේදී තමන් සඳහන් කළ බවත් එම ප්‍රකාශය කරන විට ආරක්‍ෂක ලේකම්වරයා තර්ජනාත්මක ප්‍රකාශයක් කළ බවත් මන්ත්‍රීවරයා පැවසීය.

මන්ත්‍රීවරයෙකුට මෙවැනි තර්ජනාත්මක ප්‍රකාශ නිකුත් කිරීම ස්ථාවර නියෝගවලට පටහැනි බවත් ඔවුන්ව වරප්‍රසාද කාරක සභාව හමුවට කැඳවන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් ඔහු පැවසීය.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පැවසුවේ, අදාළ කරුණ වරප්‍රසාද කමිටුවට යොමු කරන බවයි.



මන්ත්‍රීවරයෙකුට මෙලෙස තර්ජනය කරන්නේ නම් එය බරපතල තත්ත්වයක් බවත් හඬපට පරීක්ෂා කර පරීක්ෂණයක් පවත්වන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.